පසුගියදා (මැයි මස 28) කෝවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදිත බවට තහවුරු වූ ගුවන් තොටුපොළේ සේවයේ නියුතුව සිටි හොරණ කඳාන යුද හමුදා ලුතිනන් කර්නල්වරයාගේ රියැදුරු හා සහායකයන් දෙදෙනා සමඟ සමීපව කටයුතු කළ හොරණ, දොඹගොඩ හමුදා කඳවුරේ යුද හමුදා සාමාජිකයන් විස්සකට ආසන්න පිරිසක් එම කඳවුර තුළ ගොඩනැඟිල්ලක නිරෝධායනයට ලක් කළ බව කළුතර ප්‍රාදේශීය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය උදය රත්නායක මහතා පැවැසීය.
ඊට අමතරව ලුතිනන් කර්නල්වරයකු වනඑම යුද හමුදා නිලධාරියා දින තුනක කාලයක් නිවාඩු ලබා නිවෙසට පැමිණීමෙන් අනතුරුව සමීපව ඇසුරු කළ පවුල් තුනක සාමාජිකයන් මෙන්ම යුද හමුදා නිලධාරියා පවුලේ සාමාජිකයන් සමඟ හොරණ නගරයේ වෙළෙඳසල් හතරකට ගොස් ඇති බවට හෙළිවීමෙන් පසු එම වෙළෙඳසල්ද තාවකාලිකව වසා දමා එහි සේවක සේවිකාවන් ස්වයං නිරෝධායනයට යොමු කිරීමට තවදුරටත් කටයුතු කළ බව හොරණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය චානක මල්ලිකාආරච්චි මහතා පැවැසීය.
ඉදිරියේදී ලැබීමට නියමිත ඔවුන්ගේ පීසීආර් පරීක්ෂණ වාර්තාවන්ට අනුව ඉදිරි පියවර ගැනීමට නියමිත බව මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් හොරණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී චානක මල්ලිකාරච්චි මහතා සඳහන් කළේය.
එසේම අදාළ හමුදා නිලධාරියා එම වෙළඳසැල් වලට පැමිණි අවස්ථා වලදී සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන් නිවැරදි ආකාරයෙන් අනුගමනය කර ඇති බවත්, එම හේතුව නිසා ඔහුගෙන් වෙළඳසැල් වල ආශ්‍රිතයින්ට වෛරසය බෝවීමේ අවදානම අවම මට්ටමක පවතින බවත්, නමුත් එම අවම තත්ත්වයද ශුන්‍ය කිරීමේ අරමුණින් අදාළ වෙළඳසැල් වසාදැමීමට තීරණය කළ බවත් වෛද්‍ය චානක මල්ලිකාරච්චි මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ මගී පර්යන්තයේ සම්බන්ධීකරණ කටයුතු භාරව සේවයේ නියුතුව සිටි ලුතිනන් කර්නල් වරයකු වූ මෙම යුද හමුදා නිලධාරියා කුවේට් රටේ සිට මෙරටට පැමිණෙන්නන් නිරෝධායනය කිරීම සඳහා යොමු කිරීමේ රාජකාරි කටයුතුවලද යෙදී සිට ඇතැයි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා කීය.