පෙර සැලසුමකින් තොරව ඉන්ධන තොග ඇණවුම් කිරීම හේතුවෙන් ශ්‍රී ලංකාවට අතිවිශාල පාඩුවක්සිදුව ඇති බව වෘත්තීය සමිති අනාවරණය කර තිබෙනවා. ඔවුන් පවසන්නේ අප්‍රේල් 25 දින පැමිණ ඇති නෞකාවකට ප්‍රමාද ගාස්තු ලෙස දිනකට ඩොලර් 120,000ක මුදලක් ගෙවීමට සිදුව ඇති බවයි.
ඒ අනුව, එම නෞකාව ඇතුළු නෞකා 3කට මැයි 17 දිනය වනවිට ඩොලර් ලක්ෂ 35කට අධික ප්‍රමාද ගාස්තු ගෙවීමට සිදුව තිබෙන බව ඉන්ධන, වරාය, විදුලි සමගි වෘත්තීය සමිති සන්ධානය සඳහන් කරයි.
ඔක්ටේන් 92 හා ඔක්ටේන් 95 පෙට්‍රල් අඩංගු නැව මෙරට මුහුදු සීමාව ආසන්නයට පැමිණියේ පසුගිය මාර්තු 28 දින බවත්, එම නැව තුළ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 38,000ක් තිබෙන බවත් එහි මාධ්‍ය ප්‍රකාශක ආනන්ද පාලිත අනාරණය කර සිටියා. ඒ අනුව එම නැව සඳහා ප්‍රමාද ගාස්තු වශයෙන් දිනකට ඩොලර් 18,000ක් ගෙවිය යුතු බවත්, එම නැව “ක්ෂණික මිලදී ගැනීම්” යටතේ මිලදී ගෙන තිබෙන නිසා ලෝක වෙළෙඳ පොළේ මිලට වඩා වැඩි මුදලක් ගෙවීමට සිදුවන බවත් ඔහු පෙන්වා දුන්නා.
ඊට අමතරව බොරතෙල් මෙට්‍රික් ටොන් 89,000ක් රැගත් තවත් නෞකාවක් පසුගිය අප්‍රේල් 25 දින මෙරටට පැමිණි ඇති අතර එම නැවට ප්‍රමාද ගාස්තු ලෙස දිනකට ඩොලර් ලක්ෂයක් ගෙවිය යුතු බවට මුලින් සඳහන් කළත්, එම මුදල ඩොලර් එක්ලක්ෂ විසිදහසක් දක්වා ඉහළ දමා ඇති බව ද ආනන්ද පාලිත අනාවරණය කර සිටියා.
තුන්වන නෞකාව දැවිතෙල් මෙට්‍රික් ටොන් 30,000ක් රැගෙන මැයි 09 දින මෙරටට පැමිණි ඇති අතර එම නැවට ප්‍රමාද ගාස්තු වශයෙන් දිනකට ඩොලර් 18,000ක් ගෙවිය යුතු බවත් ඔහු අනාවරණය කළා.
එසේම මාර්තු 18 දින වනවිට කොළඹ වරායට ගෙන්වා තිබූ ඉන්ධන නෞකාවලින් නියමිත කාලයේදී තෙල් ගොඩබෑමට නොහැකි වීම නිසා අදාළ කාලය තුළ පමණක් එම නැව් සමාගම්වලට ප්‍රමාද ගාස්තු වශයෙන් ඇමරිකානු ඩොලර් ලක්ෂ 40කට ආසන්න මුදලක් ගෙවා දැමීමට සිදුවූ බව තෙල් සංස්ථා ගිණුම් අංශ නිලධාරියෙක් හෙළිදරව් කර තිබුණා.
ඒ අනුව, මේ වසරේ මුල සිට මැයි 17 දින දක්වා ගෙවීමට සිදුව ඇති ප්‍රමාද ගාස්තු පමණක් ඩොලර් ලක්ෂ 75ක් එනම් ඩොලර් මිලියන 7.5කට අධික මුදලක් බව වෘත්තිය සමිති පෙන්වා දෙනවා.
පසුගිය කාලය පුරාම මෙලෙස තෙල් මිල දී ගෙන ඇත්තේ “හදිසි මිල දී ගැනීම්” යටතේ බැවින් එම ගණුදෙනුවල විනිවිඳභාවය ද ගැටළු සහගත බව වෘත්තීය සමිති පෙන්වා දෙනවා. එසේම මෙලෙස ගෙවීමට ඩොලර් නොමැති බව දනිමින්ම තෙල් ආනයනය කොට ප්‍රමාද ගාස්තු ගෙවීම හරහා ද කොමිස් මුදල් ලබාගෙන ඇත්දැයි සැකයක් ඇති වන බව වෘත්තීය සමිති නියෝජිතයින් පවසනවා.