Connect with us
Advertise with Giraya

Fashion

කැරොලයින් ජූරිගේ හැසිරීම ගැන ලෝක විවාහක රූ රැජින සංවිධායකයින් ගත් තීන්දුව

Published

on

ශ්‍රී ලංකාවේ විවාහක රූ රැජින තරඟාවලියේ දී වූ සිදුවීම පිළිබඳව ලෝක විවාහක රූ රැජින තරඟ සංවිධායකයින්ගේ අවධානය යොමුව තිබෙනවා.

ඔවුන් විසින් එම සිදුවීම පිළිබඳව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ ලෝක විවාහක රූ රැජින වන කැරොලයින් ජූරිගේ හැසිරීම පිළිබඳව ඔවුන් කණස්සල්ලට පත් වන බවයි.

එමෙන්ම අදාළ සිදුවිම පිළිබඳව නිසි ඇගයීමකින් පසුව තීරණයක් ගන්නා බවත් ශ්‍රී ලංකා සංවිධායකයින් විසින් ලෝක විවාහක රූ රැජින සඳහා නීත්‍යානුකූල විවාහක කාන්තාවක් ඉදිරිපත් කරන්නේ නම් ඇය පිළිගන්නා බවත් එම නිවේදනයේ දැක්වේ.

Advertisement
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Fashion

අහිමි වූ කිරුළ නැවතත් පුෂ්පිකාටම ලැබෙයි !

Published

on

විවාහක රූ රැජින තරඟාවලියේ ජයග්‍රහණය කළ පුෂ්පිකා ද සිල්වා හට නැවතත් හෙට (06) දිනයේ දී එම කිරුළ ලබා දීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

එම තරඟාවලිය සංවිධානය කළ චන්දිමාල් ජයසිංහ විසින් ඊට අදාළ පියවර ගෙන ඇති බවත් පුෂ්පිකා ද සිල්වා දික්කසාද වී ඇති බව පවසමින් කිරුළ අහිමි කළ ද ඇය දික්කසාද වී නොමැති බවයි ඔහු පවසා ඇත්තේ.

ශ්‍රී ලංකා විවාහක රූ රැජින අවසන් තරඟාවලිය ඊයේ (04) දිනයේ දී නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේ දී පැවති අතර එහි දී ජයගත් පුෂ්පිකා ද සිල්වාගේ කිරුළ ගලවා අනුශූරතාවය හිමි වූ තරඟකාරියට පළන්දවන්නට ලෝක විවාහක රූ රැජින වූ කැරොලයින් ජූරි විසින් කටයුතු කරනු ලැබුවා. ඒ දික්කසාද වූ තැනැත්තියක විවාහක රූ රැජින කිරුළ හිමි වීමට සුදුසුකම් නොලබන බව පවසමින්.

කෙසේ වෙතත්, තරඟාවලිය ජයගත් පුෂ්පිකා ද සිල්වා සඳහන් කරන්නේ ඇය දික්කසාද වී නොමැති බවට වගකීමෙන් පවසන බවයි. සිය ෆේස්බුක් ගිණුමෙහි සටහනක් තබමින් පවසා ඇතතේ තමන් දරුවා සමඟ සිටින බවට ලෝකයෙන් සඟවා නොමැති බවත් ඇයට සැමියාගෙන් වෙන්ව සිටීමට පෞද්ගලික හේතු ඇති බවත් ය. නමුත් ඇය තවමත් දික්කසාද නොවූ තැනැත්තියක් බව ද ඇය පවසයි.

එම සම්පූර්ණ සටහන පහතින් දැක්වේ.

ආයුබෝවන්!
මා හිතවත්, ආදරණීය, ගෞරවණීය, බුද්ධිමත් ශ්‍රී ලාංකික සහ ලෝකවාසී ජනතාවනි,

සිදුවූ අනපේක්ෂිත සිදුවීම සම්බන්ධයෙන් ඔබ මගේ ප්‍රතිචාරය අපේක්ෂා කරන බව මම දැනටමත් දනිමි. කියන්නට බොහෝ දේ තිබුනත්, අත්‍යවශ්‍ය කාරණා පමණක් මෙහි සටහන් කරමි.

පළමුව, 2020 වර්ෂයේ විවාහක රූ රැජිණ කිරුල ජයග්‍රහණය කිරීම සඳහා මා තෝරාගත් විනිශ්චය මණ්ඩලයට මගේ ගෞරවය සහ ස්තුතිය පුද කරමි.

දෙවනුව, මා සිතන ආකාරයට ලංකාවේ නොව ලෝකයේ ම රූ රැජිණ ඉතිහාසයේ පලවෙනි වරට එසේ අපහාසාත්මක ලෙස, සියල්ලන් ඉදිරියේ මගේ කිරුල උදුරා ගනු ලැබුවත්, මේ ලියන මොහොතේ ත් මම මගේ හිස කෙලින් තබාගෙන, පෙර සේ ම අභිමානයෙන් ආඩම්බරයෙන් සිටින බව කියමි. මම, මම ම වන අතර, මට මෙය තවත් එක සිදුවීමක් පමණි.

ලෝක විවාහක රූ රැජිණ, එසේ මගේ හිසින් මගේ කිරුල උදුරා ගනිද්දී මගේ හිස් කබලට සිදු වූ තුවාල වල වේදනාව, කිරුල අහිමි වෙද්දී සිතට දැනුන වේදනාව යන දෙකටම වඩා, “.. අම්මිගෙ ඔලුව තුවාල වෙලා නේද..? රිදෙනවද අම්මි?” යැයි මගේ කුඩා පුතු අසන විට දැනෙන වේදනාව මට දරාගත නොහැකි ය.

එහෙත්, මෙය තනි ගැහැණියක් වූ මා වෙනුවෙන් මුලු ලෝකයක ගැහැණුන් මෙන්ම පිරිමින් ද, පක්ෂ පාට ජාති ආගම් කුල මල භේද පසෙක ලා හඬ අවදි කරන ඓතිහාසික මොහොතකි. ඔබ සියලු දෙනාගේ මේ ආදරය මට යෝධ ශක්තියක් වන බව කියමි.

අනික් අතට මම දික්කසාද ගැහැණියක් නො වෙමි. මේ ලියන මොහොතේ ත් මා දික්කසාද ගැහැණියක් නොවන බව ඉතා වගකීමෙන් කියමි. මම දික්කසාද නම්, මගේ දික්කසාද ලියවිලි ඉදිරිපත් කරන ලෙස මම ඔවුන්ට අභියෝග කරමි. මම මගේ දරුවා සමග සිටින බව මම ලෝකයෙන් සඟවා නැත. එසේ සිටින්නට මට පෞද්ගලික හේතු ද ඇත. නමුත්, වෙන් ව සිටීම එකකි. දික්කසාදය යනු වෙනම එකකි. මම තවම දික්කසාද නො වූ තැනැත්තියක් වෙමි.

මේ තරඟාවලියේ ආරම්භයේදී ම මා ඊට නුසුදුසු නම් මා එයින් ඉවත් කරන්නට ඔවුන්ට ඉඩ තිබුණි. අවශේෂ තරඟ ඉසව් එකින් එක පසුකර මා මෙතෙක් දුර එනතෙක් ඔවුන් සිටියේ නින්දේ නො වේ.

මම 2011 ශ්‍රී ලාංකික රූ රැජිණ වූයෙමි. ඉන් දස වසරකට පසු ඊයේ රාත්‍රී විනිශ්චය මණ්ඩලයේ තීරණයෙන් විවාහක රූ රැජිණ කිරුල පැලඳුවෙමි. ඒ මොහොතේ ම මම ලංකාවේත් ලෝකයේ ත් සිටින ඔබ සියලු දෙනාගේ හදවතේ විවාහක රූ රැජිණ බවට පත් වූයෙමි.

ඉදින්, සංකේතාත්මක ඒ කිරුල මගේ හිසෙන් උදුරා ගත්ත ද, මම ඒ සිදුවූ අසාධාරණය සහ අපහාසය වෙනුවෙන් අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග වෙත දැනටමත් අවතීර්ණ වී ඇති බව, ඔබට දැනුම් දෙමි.

“අවසාන වශයෙන්, සැබෑ රැජිණක් යනු, අනෙක් ගැහැණියගේ කිරුල උදුරාගන්නා ගැහැණියක් නො ව, අනෙක් ගැහැණිය ගේ ඔටුන්න රහසේ සකසන ගැහැණියක් බව කියමි”!!!

පුෂ්පිකා ද සිල්වා
කිරුල උදුරාගන්නා ලද පලමු ශ්‍රී ලාංකික විවාහක රූ රැජිණ

මේ අතර, පැළඳ සිටි කිරුළ ගැලවීමේ දි සිදුවූ තුවාල හේතුවෙන් පුෂ්පිකා ද සිල්වා මේ වන විට රෝහල්ගත කර ඇති බව ද වාර්තා වේ.

Continue Reading

Trending

Copyright © 2016 Giraya News. Powered by Digital Hub