Connect with us
Advertise with Giraya

NEWS

කැරොලයින් ජූරි විවාහක රූ රැජින කිරුළ අතහරී !

Published

on

2020 වසරේ ලෝක විවාහක රූ රැජිණ ලෙස කිරුළ පැළඳි කැරොලයින් ජුරි සිය කිරුළ අතහැරීමට තීරණය කර ඇති බව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

ආයුබෝවන්!
වනක්කම්!
සියලු ලෝ වැසියනි,

මගේ ලස්සන රටේ සහ ලොව වටා ජීවත්වන සියලු ශ්‍රී ලාංකිකයිනි. කිරුල දිනාගත් සහ කිරුලක් දිනාගන්නට කැපවී වෙහෙස වූ, මගේ හිතවත් රූ රැජිනියනි.

වාද මතවාදවලට තුඩුදුන්, පසු ගියදා සිදු වූ සිදුවීම ගැන මගේ අවංක කණස්සල්ල පළකර සිටිමි.කිසිවෙකු සමග පුද්ගලික ආරෝවක් මට නැත. පුද්ගලික න්‍යාය පත්‍ර ද මා ළඟ නැත.

ශ්‍රී ලංකා විවිහක රූ රැජින තරගයේ අවසාන වටයට තේරී පත් වූ සියලු දෙනා මා ඉතාමත් අගය කොට සළකමි.

”ඔවුනට ඔවුන්ගේ උපරිමයෙන් තරගවැද ජයගැනීමට තරම්, සාධාරණ සහ සැමට සමාන අවස්ථාවක් හිමිවන තරග පසුබිමක් වෙනුවෙන් මා පෙනී සිටිමි. මා කිසිම තරගකාරියකට පක්ෂපාතීව හෝ විරුද්ධව කටයුතු නොකළෙමි. මා නිරන්තරයෙන් සිටගත්තේ මා නිවැරදි යැයි විශ්වාස කරන දේ වෙනුවෙනි.”

මා හට 2020 ලෝක රූ රැජින තරගයේ තරගවැද ජයග්‍රහණය කිරීමට තරම්, සාධාරණ වේදිකාවක් නිර්මාණය කර දුන්, ආදරණීය ලෝක විවාහක රූ රැජින තරග සංවිධායකයින්ට එයින් අත්විඳින්නට සිදු වූ අපහසුතාවයක් වී නම්, මම ද එය අත්විඳිමි.

ලොව වටා සහ මගේ රටේ වෙසෙන, පසුගිය සහ වර්තමාන රූ රැජින තරග ජයග්‍රාහිකාවන්ට එයින් අත් විඳින්නට සිදු වූ අපහසුතාවය මමද එලෙසින්ම අත් විඳිමි.

සෑම රූ රැජින තරගයකටම ඊට අනන්‍ය වූ නීති රෙගුලාසි මාලාවක් ඇත.

මා මුල සිටම පෙනී සිටියේ සාධාරණ වේදිකාවක් සහ සැමට සාධාරණ වූ නීති රෙගුලාසි වෙනුවෙනි.

”තරගයක නීති රීති ඇත්තේ, ඒවාගේ අඩුපාඩුවලින් රිංගා යමින්, කෙසේ හෝ තරගයක් ජයග්‍රහණය කිරීමට නොවේ..

තරගයකට නීති රෙගුලාසි ගෙන එන්නේ, අරමුණක් වෙනුවෙන් වේදිකාවක් සඳහා බව මගේ විශ්වාසයයි.

මා මුලසිටම හඬනැගුවේ ඒ වෙනුවෙනි. නමුත්, අවාසනාවකට හඬනැගීම නොතකා හැරීම නිසාම, අවසාන තරගයට පෙර දිනයේදී, මා විනිශ්චය මණ්ඩලයෙන් ඉල්ලා අස්වූවෙමි.

මගේ ක්‍රියකලාපය ඒ අභිමතාර්ථ සහ අරමුණු වෙනුවෙන් මගේ ක්‍රියාත්මකවීමයි.

මා දකින ආකාරයට ලෝක විවාහක රූ රැජින කිරුළ යනු, විවාහ ජීවිතයක් ගෙවමින්, ඒ වෙනුවෙන් මහා කැපකිරීම් කරමින් වගකීම් දරමින්ම, තම තමන්ගේ සිහින ජයගන්නා විවාපත් කාන්තාවන්ගේ ජාත්‍යන්තර සැමරුමයි.

සියලු වෙහෙස සහ කැපකිරීම් මැද පවා තමන්ව මග නොහැරගන්නා, එතැනින් නොනැවතී තරග වේදිකාවේ කිරුළ වෙනුවෙන් තරග කීරීමට උත්සහ ගන්නා, අසීමිත කැපකිරීම් කරන, වෙහෙස වන, හැකියාවක් ඇති, හරයක් සහ අරමුණක් වෙනුවෙන් පෙනී ඉන්නා විවාහක කාන්තාවන්ගේ සැමරුමයි.

ලෝක විවාහක රූ රැජින තරගය නිර්මාණය කර ඇත්තේ, දික්කසාද හෝ පවුල් ජීවිතයෙන් වෙන් වූ කාන්තාවන්ව පහත් කොට සැළකීම සඳහා නොව, විවාහක ජීවිතයේ ඉන්නට තීන්දු කළ කාන්තාවන්ගේ සිහින සැමරීමට සහ ඔවුන්ව අගය කිරීමට බව මට තහවුරු කළ හැකිය.

විවාහක අවිවාහක සියලු කාන්තාවන් ඇත්තටම රැජිනියන්ය.

සෑම රැජිනියකටම තමන්ටම කියා වෙන් වූ විවිධාකාරයේ තරග වේදිකාවන් ඇත.

ඒ ඒ වේදාකාවන් සහ තරගවලට අනන්‍ය වූ නීති රෙගුලාසිද ඇත.

මේ වර ශ්‍රී ලංකා විවාහක රූ රැජින තරගයේ වැඩ කටයුතු කරන අතරතුරේදී තරගකාරියන්ගේ කැපවීම, වෙහෙස සහ උද්යෝගය මා අත්වින්දෙමි.

ඔවුන් සියලු දෙනා සමග එක්ව, තවතවත උනන්දුවෙන් සහ වෙහෙස වී වැඩ කරන්නට, ඔවුන්ගේ උද්යෝගය මා හට පන්නරයක් වූ බව කිව යුතුමය.

මා සැමවිටම මගේ අත්දැකීම් සහ දැනුම ඔවුන් සමග නොඅඩුව බෙදාහදාගත්තෙමි.

2020 ලෝක රූ රැජිනිය ලෙස කිරුලු පැළඳීමට මා ගමන් කළ දීර්ඝ වූත්, වෙහෙසකර වූත්, ඉතා අසීරු වූත් ගමන, මා හට ලබාදුන් දැනුම සහ අත්දැකීම් නිසාම, මා ළඟ ඔවුන් සමග බෙදාහදාගන්නට බොහෝ දේ ඇත.

මේ වසරේ, ලෝක විවාහක රූ රැජින තරගයේ සත්කාරක රට ශ්‍රී ලංකාවයි.

ඒ සඳහා ලෝකයේ නන් දෙසින් එන සියලු තරගකාරියන්ව අපි ආදරයෙන් පිළිගන්නා අතරම, අපේ රට නියෝජනය කරමින්, ශ්‍රී ලංකා විවාහක රූ රැජිනියටද, ලෝකයම සමග කරට කර තරගවැදීමට යළිත් අවස්ථාවක් හිමිවේ.

එහිදී, සාධාරණ තර අවස්ථාවක් ලබාගැනීමට සහ හොඳ තරගයක්දීමට, අපේ විවාහක රූ රැජිනියව සූදානම් කිරීම, මුවහත් කිරීම සහ මගපෙන්වීම සඳහා මාගේ උපරිමයෙන් දායකත්වය ලබාදීම, මාගේ වගකීම සහ කර්තව්‍යය ලෙස මා සළකමි.

ලෝකයම සමග තරගකොට, ලෝක රූ රැජිනිය ලෙස කිරුළු පැළඳි, ශ්‍රී ලාංකික කාන්තාවක් ලෙස, මේ වර අපේ රට නියෝජනය කරන කාන්තාවට සාධාරණ තරග අවස්ථාවක් ලබාදීම සහ හොඳ තරගයක් දීම සඳහා ඇවැසි සුදුසුකම් සපුරාගැනීමට උපකාර කිරීම මගේ අරමුණයි.

මා ජයග්‍රහණය කළ කිරුළ නැවත භාරදීමෙන් පසුව පවා, මගේ පවුල් ජීවිතය වෙනුවෙන් කරන කැපවීම් සහ වගකීම් දරන අතරේදීම, ඒ අරමුණ ඒ වෙනුවෙන් කැපවී ක්‍රියාත්මකවීම සහ වැඩ කිරීම මගේ සැලසුමයි.

මා මේ කිරුළ නැවත භාර දෙන්නේ කෙසේද යන කාරණාවට වඩා, 2020 ලෝක රූ රැජිනිය ලෙස ඒ කිරුළ දරණ කාලයේදී, මා ජීවත්වන සහ නියෝජනය කරන ලෝකය වෙනුවෙන් මා එය කෙළෙස යොදාගත්තේද යන්න වඩා වැදගත් බව මා විශ්වාස කරමි.

මා විසින් සමහරවිට ඔබගේ මනෝලෝකයන් කඩා විසුරුවා දමන්නට ඇති බව මා දනිමි. සමාජ සංවාදයක් ඇති කළ බවද දනිමි. එපමණක් නොවේ, කිරුළක් දරණ රූ රැජිනකට තිබිය යුතු වැදගත්කම් සහ ඇය පෙනී සිටිය යුතු වටිනාකම් ගැන කතිකාවක්ද ඇති වූ හැටි මා බලා සිටියෙමි.

වැදගත්කම යනු, ලෝකයේ ඇස් ඉදිරියේ කෙනෙකුගේ හැසිරීමෙන් මනින දෙයක් යැයි ඔබ සිතන්න නම්, ඔබට ඔබේ විනිශ්යන්ට එළඹීමට මා බාධා නොකරමි.

නමුත්, වැදගත්කම් යනු, ලෝකයාගේ ඇස් ඉදිරියේ පමණක් නොව, කිසිවෙකු තමන් දෙස බලා නොසිටින අවස්ථාවේ පවා රහසින්වත් වැරදි නොකර සිටීම සහ තමන් පෙනී හිඳිමින් ක්‍රියා කරන්නේද යන වග නම්, සැබෑ වටිනාකම එය බව මගේ ඇදහීමයි.

මා විශ්වාස කරන වටිනාකම් වෙනුවෙන් කොන්ද කෙලින් තියාගෙන පෙනී හිඳීමෙන් පසුව, මගේ කිරුළ අහිමි වූවත්, මා පෙනී සිටියේ සහ සිටගත්තේ ලෝක විවාහක රූ රැජිනියගේ කිරුලේ සැබෑ අරමුණ වෙනුවෙන් බව මගේ හැඟීමයි.

වටිනාකම් යනු අපේ ජීවිතවල මුල්බැසගත් සාරධර්මයන් වේ. වටිනාකම්, මතුපිටින් මනින්නට නොහැකිය. කීයටවත් මුදලට ගන්නට නොහැකිය. මම ඒ වටිනාකම් වෙනුවෙන් සිටගනිමි. මුලු ලෝකයම ඉවත බලන විටදී පවා තනිවම වුවත්, මම ඒ වටිනාකම් වෙනුවෙන් නැගීසිටිමි. ඒ කෙතරම් දරුණූ ව්‍යසනයක් හමුවේ වුවත්, මම ඒ වටිනාකම් වෙනුවෙන් පෙනි සිටිමි.

අපි සැවොම සැමවිටම, අපි ජීවත්වන ලෝකය මීට වඩා හොඳවන වෙනසක් ප්‍රාර්ථනා කරන්නෙමු. නමුත්, තමන් ඒ වෙනස වෙන්නට සිදුවූ විට හෝ ඒ වෙනුවෙන් ක්‍රියාත්මකවෙන්නට සිදු වූ විට, අපි එය මගහැර යන්නෙමු.

ලෝකයම ඉවත බලන විටදී පවා, යමක් වෙනුවෙන් නැගී සිටින්නට, හඬ නගන්නට සිදු වේ නම්, කෙතරම් තනි වුවත්, අපි ඒ සඳහා අපි ධෛර්යය උපද්දවාගත යුතුමයි. බොහෝවිට අපි එය මගහැර යන්නේ, අපි මහත් වෙහෙස වී, අසීමිත කැපකිරීමෙන් දිනාගත් දේ, අහිමි කරගන්නට ඇති බය නිසාවෙනි.

අරමුණක් වෙනුවෙන් තැනූ වේදිකාවක, තවත් කාන්තාවකට සමාන සහ සාධාරණ අවස්ථාවක් ලබාදීම සඳහා, මා අසීරුවෙන් උපයාගත් යමක් අහිමි කරගෙන වුවත් ක්‍රියාත්මක විය යුතු බව මගේ ඇදහීමයි. ඇත්තටම අපි ඒ වෙනුවෙන් එකපයින් නැගීසිටිය යුතුමයි. කිරුළකට අරමුණක් තිබිය යුතුය. මට අනුව ඒ, හැමෝටම සමාන සහ සාධාරණ අවස්ථාවන් තනා දීමය.

දැන්… මා දිනාගත් කිරුළ නැවත භාරදීමට, මට කාලය එළැඹ ඇති බව මම දනිමි.

කාන්තාවකට අවශ්‍යවන්නේ එකම එක සාධාරණ අවස්ථාවක් මිස, අන් කිසිවක් නොවේ…

ස්තූතියි.

– Caroline Jurie

NEWS

හරිත සමාජ – ආර්ථිකයක් උදෙසා බැසිල්ගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්ය සාධක බලකායක්

Published

on

By

දේශගුණික විපර්යාසයන්ට තිරසර විසදුම් සහිත හරිත සමාජ ආර්ථිකයක් බවට ශ්‍රී ලංකාව පත් කිරීම සඳහා ජනාධිපති කාර්ය සාධක බලකායක් පත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර තිබෙනවා.

“දේශගුණික විපර්යාසයන්ට තිරසාර විසඳුම් සහිත හරිත ශ්‍රී ලංකාවක් ඇති කිරීමේ ජනාධිපති කාර්ය සාධක බලකාය” ලෙස එය නම් කර තිබේ.

ජනාධිපති විශේෂ නියෝජිත බැසිල් රාජපක්ෂ මහතාගේ සභාපතිත්වයෙන් යුත් කාර්ය සාධක බලකායට කැබිනට් අමාත්‍යවරු 05 දෙනෙක්, ආණ්ඩුකාරවරියක්, රාජ්‍ය අමාත්‍යවරු 14 දෙනෙක් හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් ද ඇතුළත් වන අතර දිලිත් ජයවීර ප්‍රමුඛ ව්‍යාපාරිකයින් ඇතුළු සිවිල් ක්‍රියාකාරිකයින් සමග සාමාජිකයෝ 46 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ඇතුළත් වෙති.

අමාත්‍ය ආර්.එම්.සී.බී. රත්නායක, චමල් රාජපක්ෂ, මහින්ද අමරවීර, මහින්දානන්ද අළුත්ගමගේ, රමේෂ් පතිරණ, ආණ්ඩුකාර අනුරාධා යහම්පත්, රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක, අරුන්දික ප්‍රනාන්දු, රොෂාන් රණසිංහ, කනක හේරත්, ජානක වක්කුඹුර, මොහාන් ද සිල්වා, විමලවීර දිසානායක, කාංචන විජේසේකර, සදාසිවම් වියාලේන්ද්‍රන්, ඩි.බී. හේරත්, ශෂේන්ද්‍ර රාජපක්ෂ, නාලක ගොඩහේවා, සීතා අරඹේපොල, චන්න ජයසුමන, පාර්ලිමේන්තු මන්ත්‍රිනී මංජුලා දිසානායක, ආචාර්ය එම්.ඩබ්.එන්, ධර්මවර්ධන, ජයම්පති මොල්ලිගොඩ, ජයන්ත වික්‍රමසිංහ, මහාචාර්ය සුදිරා රන්වල, ආචාර්ය ජී.ඒ.එස්. ප්‍රේමකුමාර, විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය, ආචාර්ය ඩී.එම්.ජේ.බී. සේනානායක, මහාචාර්ය එස්. ආනන්ද කුලසූරිය, ආචාර්ය ටී.එල්. ගුණරුවන්, මහාචාර්ය පී.අයි. යාපා, ආචාර්ය එච්.එම්.ජී.එස්.බී. හිටිනායක, ආචාර්ය අසීස් මුබාරක්, ආචාර්ය යසන්තා මාපටුන, ආචාර්ය ක්‍රිෂ් ධර්මකීර්ති, සචිත්‍ර යාපා, විකී වික්‍රමතුංග, හර්මන් ගුණරත්න, ධම්මික කොබ්බෑකඩුව, දේවක වික්‍රමසූරිය, ජීවක අතපත්තු, දිල්ශාන් ප්‍රනාන්දු, මොහොමඩ් අනීස් ජුනයිඩ්, දිලිත් ජයවීර, විජිත් වැලිකල යන මහත්ම මහත්මීහු සෙසු සාමාජිකයෝ වෙති.

දේශගුණික විපර්යාසයන්ට තිරසර විසඳුමක් සහිත හරිත සමාජ ආර්ථික රටාවක් කරා ශ්‍රී ලංකාව පරිවර්තනය කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අප්‍රේල් මස 27 වන දින ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල සංදේශයේ අන්තර්ගත සමස්ත ප්‍රතිපත්ති රාමුව සහ යෝජනා සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි විය.

“සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් අවධාරණය කර ඇති පොහොර භාවිතය, භූමිය, ජෛව විවිධත්වය, වායු ගෝලය, අපද්‍රව්‍ය, කර්මාන්ත, පුනර්ජනනීය බලශක්තිය, ජනාවාස හා නගර සහ පාරිසරික අධ්‍යාපනය යනාදී අංශ පිළිබඳ කරුණු සැලකිල්ලට ගනිමින් එම අභියෝග ජය ගැනීමට ජනාධිපතිතුමාට විශාල ජනවරමක් ලැබී ඇත.

වර්තමානය වන විට රසායනික පොහොර, වල් නාශක හා පලිබෝධ නාශක සඳහා අතිවිශාල ජාතික වියදමක් දැරීමට සිදුව තිබේ. එමගින් ගංගා, වැව් අමුණු ජලය දූෂණය වීම හා පස දූෂණය වීම නිසා ජනතාවට ඇතිවන රෝගාබාධ හේතුවෙන් ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වය හා ජීවනෝපාය මාර්ග අහිමි වීම දක්නට ලැබේ. වස විසෙන් තොර ආහාර ලබා ගැනීමේ දුෂ්කරතා වර්ධනය වෙමින් පවතී.

රටින් පිටට ගලා යන විදේශ විනිමය රට තුළ ඉතිරි කර ගැනීම, නැගී එන ගෝලීය ආර්ථික රටාව තුළ එහි ඉහළ වාසිදායක තත්ත්වයක් රටට හිමිකර ගැනීම පරිසර හිතකාමී සමාජ ආර්ථික රටාවකට ජනතාව පෙළගැස්වීම ඇතුළු පරිසර හිතකාමී කාරණා රැසක් සාක්ෂාත් කර ගැනීමේ අරමුණින් මෙම ජනාධිපති කාර්ය සාධක බලකාය පත් කර තිබේ. පරිසරය සුරැකීම වෙනුවෙන් ගොනු කළ තවත් කරුණු 24ක් කෙරෙහි විශේෂ අවධානයෙන් ක්‍රියා කිරීම කාර්ය සාධක බලකායට පැවරී ඇති වගකීමකි.

කෘෂිකර්මාන්තය සඳහා රසායනික පොහොර, කෘමිනාශක හා වල් නාශක වෙනුවට කාබනික පොහොර නිෂ්පාදන භාවිතා කරමින් පූර්ණ වශයෙන් රසායනික ගොවිතැනින් ස්වභාවික ගොවිතැනට පරිවර්තනය වීම සඳහා මාර්ග සිතියමක් පිළියෙල කිරීම කාර්ය සාධක බලකායට පැවරෙන ප්‍රධාන වගකීමකි.

ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන කාර්ය සාධක බලකාය සහ “ගම සමග පිළිසඳර” ග්‍රාමීය සංවර්ධන ජනාධිපති කාර්ය සාධක බලකාය සමග සම්බන්ධීකරණයෙන් කටයුතු කළ යුතු බවට මෙම කාර්ය සාධක බලකායට ජනාධිපතිතුමා නියම කර තිබේ.

Continue Reading

NEWS

නීතිපති සම්බන්ධීකරණ නිලධාරිනියගේ රාජකාරි අවසන්

Published

on

By

2021 මැයි 24 දින සිට බලපැවැත්වෙන පරිදි නීතිපති දප්පුල ද ලිවේරාගේ සම්බන්ධීකරණ නිලධාරිනිය ලෙස කටයුතු කළ රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්නගේ සම්බන්ධීකරණ නිලධාරිනී තනතුරේ රාජකාරි අවසන් කර තිබෙනවා. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් (පරිපාලන) විකුම් ද ආබෲ විසින් නීතිපති දෙපාර්තමේන්තුවේ සියලුම නිලධාරීන් වෙත නිකුත් කළ චක්‍රලේඛයක් මගින් මේ බව අනාවරණය වී තිබෙනවා.

රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනිය ලෙස කටයුතු කරමින් සිටිය දී මෙරට රාජ්‍ය සේවයේ ජ්‍යෙෂ්ඨතම තනතුරක් වන ජනාධිපති අතිරේක ලේකම් (නීති) වශයෙන් ද රාජකාරි සිදුකළා. එම ධූරයට පත් ලාබාලතම තැනැත්තිය ඇයයි.

Continue Reading

NEWS

පළාත් අතර සංචරණ සීමා අද මධ්‍යම රාත්‍රියේ සිට බලාත්මකයි

Published

on

පළාත් අතර සංචරණ සීමා බලාත්මක කිරීම අද (11) මධ්‍යම රාත්‍රියේ සිට ආරම්භ කරන බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කරයි.

කෙසේ වෙතත් එම සීමා අත්‍යවශ්‍ය සේවා සඳහා අදාළ නොවන බව යුද හමුදාපතිවරයා සඳහන් කළේය.

ඒ අනුව අත්‍යවශ්‍ය සේවා ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳ වැඩිදුර තොරතුරු ඉදිරියේදී නිවේදනය කරන බව යුද හමුදාපතිවරයා වැඩිදුරටත් පැවසීය.

මේ අතර රටේ පවතින කොවිඩ් -19 තත්ත්වය සැලකිල්ලට ගෙන දිස්ත්‍රික් අතර ද සංචරණ සීමා පැනවීමේ හැකියාවක් පවතින බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේය.

කොවිඩ් ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා සියලු ම පළාත් අතර සංචරණ සීමා පැනවීමට ජනාධිපතිවරයා විසින් ඊයේ (10) නියෝග කර තිබුණි.

කොවිඩ්-19 වසංගතය පිටුදැකීම සඳහා සියලු පාර්ශ්වයන් සමග ජනාධිපතිවරයා පැවැත්වූ සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස මැයි මස 30 වැනිදා දක්වා පළාත් අතර සංචරණ සීමා ක්‍රියාත්මක වේ.

ඒ අනුව,

  • සියලු පළාත් අතර සංචාරණ සීමා පැනවීමට
  • පිරිස් එක්රැස් වී සිදුකරන සියලු සම්භාෂණ අවස්ථා අවලංගු කිරීමට
  • වෙළෙඳ ආයතන තුළට පිවිසීමේ හා රැඳී සිටිය හැකි පුද්ගල සංඛ්‍යාව සීමා කිරීමට
  • ආසාදිතයන් බහුලව හමුවන ප්‍රදේශ හුදකලා කිරීම වැනි ආරක්ෂණ ක්‍රමවේද අනුගමනකිරීමටත් ජනාධිපතිවරයා අදාළ අංශ වෙත උපදෙස් ලබා දී තිබේ.

Continue Reading

Trending

Copyright © 2016 Giraya News. Powered by Digital Hub