ඇමරිකාවේ ටෙක්සාස් හී ප්‍රාථමික පාසලක තුවක්කුකරුවෙකු සිදුකළ වෙඩි තැබීමකින් අවම වශයෙන් ළමුන් 19 ක් සහ ගුරුවරුන් දෙදෙනෙකු මියගිය බව ටෙක්සාස් හී මහජන ආරක්ෂාව පිළිබඳ දෙපාර්තමේන්තුව උපුටා දක්වමින් එන්බීසී ප්රවෘත්ති වෙබ් අඩවිය වාර්තා කර තිබෙනවා.
සැන් ඇන්ටෝනියෝ නගරයට සැතපුම් 83ක් බටහිර දෙසින් පිහිටි උවාල්ඩේ හී රොබ් නම් ප්‍රාථමික පාසලේ දී එම සිදුවීම සිදු වී ඇති අතර නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන් ඔහුට මුහුණ දුන් අවස්ථාවේදී වෙඩික්කරු අත අත් තුවක්කුවක් සහ රයිෆලයක් තිබූ බව ඔවුන් පවසනවා. මේ අතර වෙඩික්කරු ද මිය ගොස් ඇති බව ආණ්ඩුකාර ග්‍රෙග් ඇබට් මාධ්‍ය වෙත පවසා තිබෙනවා.
“ඔහු ඔහුගේ වාහනය අතහැර දමා, පසුව අත් තුවක්කුවක් සමඟ උවාල්ඩේ රොබ් ප්‍රාථමික පාසලට ඇතුළු වූ බව විශ්වාස කෙරේ, ඔහු සතුව රයිෆලයක් ද තිබිය හැකියි,” ඇබට් මාධ්‍ය වෙත පැවසීය.
වෙඩි තැබූ සැකකරුට අමතරව ළමුන් 19 දෙනෙකු සහ ගුරුවරුන් දෙදෙනෙකු මිය ගිය බව ටෙක්සාස් මහජන ආරක්ෂාව පිළිබඳ දෙපාර්තමේන්තුව මේ වනවිට අනාවරණය කර තිබේ. දිවි ගලවා ගත් කිහිප දෙනෙකු සිටින අතර නිශ්චිත සංඛ්‍යාව නිකුත් කර නොමැත. ඔවුන් ප්‍රාදේශීය රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටින බව ද එන්බීසී වාර්තා කර තිබේ.
එය අමෙරිකානු පාසල් පරිශ්රයක ළමුන් සහ අධ්‍යාපනඥයින් ඉලක්ක කර ගනිමින් සිදුවූ තවත් මහා වෙඩි තැබීමක් ලෙස මාධ්‍ය වාර්තා කර තිබෙනවා. ඒ එරට එවැනි සිදුවීම් වරින්වර වාර්තා වී තිබීම නිසාය.
ටෙක්සාස් මහජන ආරක්ෂාව පිළිබඳ දෙපාර්තමේන්තුව අනාවරණය කළේ මෙම සිදුවීමට අදාළ සැකකරු 18 හැවිරිදි සැකකරු සැල්වදෝර් රොලැන්ඩෝ රමෝස් ලෙස හඳුනාගෙන ඇති බවයි.
සැකකරු තනිව ක්‍රියාකළ අයෙකු බවට හඳුනාගෙන ඇති අතර සිද්ධියට පෙර තම ආච්චිට වෙඩි තබා ඇතැයි බලධාරීහු පවසති. ඉන් පසු සැකකරු පාසල දෙසට ධාවනය කර ඇති අතර ඒ පාසල ආසන්නයේ දී සැකකරුගේ වාහනය ද අනතුරට ලක්ව තිබිය දී සොයාගෙන ඇතැයි වාර්තා වේ.
“ඔහු තමා ඉදිරිපිට සිටි සෑම පුද්ගලයෙකුටම වෙඩි තැබීමට පටන් ගත්තේය,”
ටෙක්සාස් මහජන ආරක්ෂාව පිළිබඳ දෙපාර්තමේන්තුව පැවසුවේ වෙඩික්කරු ශරීරාක්ෂක කබායක් ද පැළඳ සිටි අතර රයිෆලයක් අතැතිව සිටි බවයි. එරට වේලාවෙන් පෙරවරු 11.30 ට පසුව මෙම සමූහ ජීවිත හානි සිදුවීම වාර්තා වූ බව බලධාරීහු පවසති.
මේ අතර වෙඩික්කරු ඔහුගේ 18 වැනි උපන්දිනයේදී උවල්ඩේ ප්‍රදේශයේ තුවක්කු ගබඩාවකදී අර්ධ ස්වයංක්‍රීය රයිෆල් දෙකක් මිලදී ගත් බව අනාවරණය කරගෙන ඇත. ප්‍රහාරය සඳහා එම ආයුධවලින් එකක් හෝ ඒ දෙක භාවිත කළේද යන්න පැහැදිලි නැති බව ද බලධාරීන් කියයි.
FBI නියෝජිතයන් සහ එක්සත් ජනපද දේශසීමා ආරක්ෂක නිලධාරීන් සැකකරුගේ චේතනාවන් සහ පසුබිම පිළිබඳ විමර්ශනය සඳහා ප්‍රාදේශීය නීතිය බලාත්මක කරන ආයතන වෙත සහාය වෙමින් සිටි බව බලධාරීහු පවසති. මධ්‍යසාර, දුම්කොළ, ගිනි අවි සහ පුපුරණ ද්‍රව්‍ය කාර්යාංශය ද සහාය පැමිණ සිටී.
මැයි 24 අඟහරුවාදා සිදුවූ ප්‍රහාරය 1999 දී කොලරාඩෝ හි ලිට්ල්ටන් හි කොලම්බයින් උසස් පාසලේ මාරාන්තික වෙඩි තැබීම් සිහිපත් කරයි. 2018 දී ෆ්ලොරිඩා හි පාර්ක්ලන්ඩ් හි මාජරි ස්ටෝන්මන් ඩග්ලස් උසස් පාසල; සහ 2018 දී ටෙක්සාස් හි සැන්ටා ෆේ උසස් පාසල තුළ සිදු වූ සිදුවීම් ද සිහිපත් කරන බව මාධ්‍ය පෙන්වා දෙයි.
2012 දෙසැම්බර් 14 වැනි දින කනෙක්ටිකට්, නිව්ටවුන් හි සැන්ඩි හූක් ප්‍රාථමික පාසලේ ප්‍රහාරයෙන් 20 හැවිරිදි පුද්ගලයෙක් ළමයින් 20 ක් සහ වැඩිහිටියන් හය දෙනෙකු මරා දැමූ සිදුවීමක් වාර්තා වී තිබුණි.
– එන්බීසී වාර්තාව ඇසුරින්