බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟයේ දී සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ පළමු ද්විත්ව ශතකය වාර්තා කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්නට අද (24) හැකි විය.
අද දිනයේ ඉනිම අවසන් වන විට දිමුත් කරුණාරත්න නොදැවී ලකුණු 234ක් රැස් කළේ හතරේ පහර 25ක් සමඟින් ය.
ශ්‍රී ලංකා කණ්ඩායමේ කිසිදු කඩුල්ලක් දවා ගැනීමට බංග්ලාදේශ පන්දු යවන්නන් සමත් නොවූ අතර, අයහපත් ආලෝක තත්ත්වය හේතුවෙන් අද දිනය සදහා තරගය නියමිත වේලාවට පෙර නිමා කරන විට ශ්‍රී ලංකාව සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 3ක් දැවී ලකුණු 512ක් ලබා සිටියා.
අයහපත් ආලෝක තත්ත්වය නිසා අද දිනයේ දී පන්දුවාර 22ක් ක්‍රියාත්මක කිරීමට හැකි වූයේ නැහැ.
එමෙන්ම, මෙම තරඟයේ දී දිමුත් කරුණාරත්නට අනගි සහයක් ලබා දෙමින් ධනංජය ද සිල්වා සිය 7 වැනි ශතකය ලබා ගත්තේ හතරේ පහර 20ක් සමඟින් ය.
දිමුත් කරුණාරත්න සහ ධනංජය ද සිල්වා අතර සිව්වැනි කඩුල්ල වෙනුවෙන් මේ වන විට ලකුණු 322ක නොබිදුණු සබදතාවයක් ගොඩ නැගී තිබෙනවා. එය ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැති ටෙස්ට් තරගයකදී ඕනෑම කඩුල්ලක් වෙනුවෙන් වාර්තා වූ ඉහළම ලකුණු සබදතාවය වීම විශේෂත්වයක්.
මීට පෙර කුමාර් සංගක්කාර සහ මහේල ජයවර්ධන විසින් එම වාර්තාවට හිමිකම් කියා තිබුණේ 2007 වසරේ දී තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 311ක සබදතාවයක් ගොඩ නගමින්.
එමෙන්ම දිමුත් සහ ධනංජය වාර්තා කළ නොබිදුණු සබදතාවය ශ්‍රී ලංකා පිතිකරුවන් දෙදෙනෙකු අතර සිව්වැනි කඩුල්ල සදහා වාර්තා වූ දෙවැනි ඉහළම ලකුණු සබදතාවය ද වනවා.
ශ්‍රී ලංකා ඉනිම ශක්තිමත් කළ ළහිරු තිරිමාන්න ලකුණු 58කට දැවී ගිය අතර, ඕෂද ප්‍රනාන්දු ලකුණු 20කටත්, ඇන්ජෙලෝ මැතිව්ස් ලකුණු 25කටත් දවා ගැනීමට බංග්ලාදේශ පන්දු යවන්නන් සමත් වුණා.
පන්දු යැවීමේ දී ටස්කින් අහ්මඩ්, මෙහිදි හසාන් මිරාස් සහ ටයිජුල් ඉස්ලාම් එක් කඩුල්ල බැගින් බිද හෙලුවා.
තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් බංග්ලාදේශය කඩුලු 7ක් දැවී ලකුණු 541ක් ලබා සිටියදී සිය පළමු ඉනිම අත්හිටුවීමට තීරණය කළා. ඒ අනුව ශ්‍රී ලංකාව මේ වන විට පළමු ඉනිමේ දී පිටුපසින් පසුවන ලකුණු සංඛ්‍යාව 29ක්.