Connect with us
Advertise with Giraya

NEWS

හරිත සමාජ – ආර්ථිකයක් උදෙසා බැසිල්ගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්ය සාධක බලකායක්

Published

on

දේශගුණික විපර්යාසයන්ට තිරසර විසදුම් සහිත හරිත සමාජ ආර්ථිකයක් බවට ශ්‍රී ලංකාව පත් කිරීම සඳහා ජනාධිපති කාර්ය සාධක බලකායක් පත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර තිබෙනවා.

“දේශගුණික විපර්යාසයන්ට තිරසාර විසඳුම් සහිත හරිත ශ්‍රී ලංකාවක් ඇති කිරීමේ ජනාධිපති කාර්ය සාධක බලකාය” ලෙස එය නම් කර තිබේ.

ජනාධිපති විශේෂ නියෝජිත බැසිල් රාජපක්ෂ මහතාගේ සභාපතිත්වයෙන් යුත් කාර්ය සාධක බලකායට කැබිනට් අමාත්‍යවරු 05 දෙනෙක්, ආණ්ඩුකාරවරියක්, රාජ්‍ය අමාත්‍යවරු 14 දෙනෙක් හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් ද ඇතුළත් වන අතර දිලිත් ජයවීර ප්‍රමුඛ ව්‍යාපාරිකයින් ඇතුළු සිවිල් ක්‍රියාකාරිකයින් සමග සාමාජිකයෝ 46 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ඇතුළත් වෙති.

Giraya News Alerts

අමාත්‍ය ආර්.එම්.සී.බී. රත්නායක, චමල් රාජපක්ෂ, මහින්ද අමරවීර, මහින්දානන්ද අළුත්ගමගේ, රමේෂ් පතිරණ, ආණ්ඩුකාර අනුරාධා යහම්පත්, රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක, අරුන්දික ප්‍රනාන්දු, රොෂාන් රණසිංහ, කනක හේරත්, ජානක වක්කුඹුර, මොහාන් ද සිල්වා, විමලවීර දිසානායක, කාංචන විජේසේකර, සදාසිවම් වියාලේන්ද්‍රන්, ඩි.බී. හේරත්, ශෂේන්ද්‍ර රාජපක්ෂ, නාලක ගොඩහේවා, සීතා අරඹේපොල, චන්න ජයසුමන, පාර්ලිමේන්තු මන්ත්‍රිනී මංජුලා දිසානායක, ආචාර්ය එම්.ඩබ්.එන්, ධර්මවර්ධන, ජයම්පති මොල්ලිගොඩ, ජයන්ත වික්‍රමසිංහ, මහාචාර්ය සුදිරා රන්වල, ආචාර්ය ජී.ඒ.එස්. ප්‍රේමකුමාර, විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය, ආචාර්ය ඩී.එම්.ජේ.බී. සේනානායක, මහාචාර්ය එස්. ආනන්ද කුලසූරිය, ආචාර්ය ටී.එල්. ගුණරුවන්, මහාචාර්ය පී.අයි. යාපා, ආචාර්ය එච්.එම්.ජී.එස්.බී. හිටිනායක, ආචාර්ය අසීස් මුබාරක්, ආචාර්ය යසන්තා මාපටුන, ආචාර්ය ක්‍රිෂ් ධර්මකීර්ති, සචිත්‍ර යාපා, විකී වික්‍රමතුංග, හර්මන් ගුණරත්න, ධම්මික කොබ්බෑකඩුව, දේවක වික්‍රමසූරිය, ජීවක අතපත්තු, දිල්ශාන් ප්‍රනාන්දු, මොහොමඩ් අනීස් ජුනයිඩ්, දිලිත් ජයවීර, විජිත් වැලිකල යන මහත්ම මහත්මීහු සෙසු සාමාජිකයෝ වෙති.

දේශගුණික විපර්යාසයන්ට තිරසර විසඳුමක් සහිත හරිත සමාජ ආර්ථික රටාවක් කරා ශ්‍රී ලංකාව පරිවර්තනය කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අප්‍රේල් මස 27 වන දින ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල සංදේශයේ අන්තර්ගත සමස්ත ප්‍රතිපත්ති රාමුව සහ යෝජනා සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි විය.

“සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් අවධාරණය කර ඇති පොහොර භාවිතය, භූමිය, ජෛව විවිධත්වය, වායු ගෝලය, අපද්‍රව්‍ය, කර්මාන්ත, පුනර්ජනනීය බලශක්තිය, ජනාවාස හා නගර සහ පාරිසරික අධ්‍යාපනය යනාදී අංශ පිළිබඳ කරුණු සැලකිල්ලට ගනිමින් එම අභියෝග ජය ගැනීමට ජනාධිපතිතුමාට විශාල ජනවරමක් ලැබී ඇත.

වර්තමානය වන විට රසායනික පොහොර, වල් නාශක හා පලිබෝධ නාශක සඳහා අතිවිශාල ජාතික වියදමක් දැරීමට සිදුව තිබේ. එමගින් ගංගා, වැව් අමුණු ජලය දූෂණය වීම හා පස දූෂණය වීම නිසා ජනතාවට ඇතිවන රෝගාබාධ හේතුවෙන් ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වය හා ජීවනෝපාය මාර්ග අහිමි වීම දක්නට ලැබේ. වස විසෙන් තොර ආහාර ලබා ගැනීමේ දුෂ්කරතා වර්ධනය වෙමින් පවතී.

රටින් පිටට ගලා යන විදේශ විනිමය රට තුළ ඉතිරි කර ගැනීම, නැගී එන ගෝලීය ආර්ථික රටාව තුළ එහි ඉහළ වාසිදායක තත්ත්වයක් රටට හිමිකර ගැනීම පරිසර හිතකාමී සමාජ ආර්ථික රටාවකට ජනතාව පෙළගැස්වීම ඇතුළු පරිසර හිතකාමී කාරණා රැසක් සාක්ෂාත් කර ගැනීමේ අරමුණින් මෙම ජනාධිපති කාර්ය සාධක බලකාය පත් කර තිබේ. පරිසරය සුරැකීම වෙනුවෙන් ගොනු කළ තවත් කරුණු 24ක් කෙරෙහි විශේෂ අවධානයෙන් ක්‍රියා කිරීම කාර්ය සාධක බලකායට පැවරී ඇති වගකීමකි.

කෘෂිකර්මාන්තය සඳහා රසායනික පොහොර, කෘමිනාශක හා වල් නාශක වෙනුවට කාබනික පොහොර නිෂ්පාදන භාවිතා කරමින් පූර්ණ වශයෙන් රසායනික ගොවිතැනින් ස්වභාවික ගොවිතැනට පරිවර්තනය වීම සඳහා මාර්ග සිතියමක් පිළියෙල කිරීම කාර්ය සාධක බලකායට පැවරෙන ප්‍රධාන වගකීමකි.

ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන කාර්ය සාධක බලකාය සහ “ගම සමග පිළිසඳර” ග්‍රාමීය සංවර්ධන ජනාධිපති කාර්ය සාධක බලකාය සමග සම්බන්ධීකරණයෙන් කටයුතු කළ යුතු බවට මෙම කාර්ය සාධක බලකායට ජනාධිපතිතුමා නියම කර තිබේ.

NEWS

ඉන්ධන මිල ඉහළ දැමීමට හේතු පිළිබඳව ජනාධිපති මාධ්‍ය අංශයෙන් විශේෂ නිවේදනයක්

Published

on

ඉන්ධන මිල ඉහළ දැමීමට ප්‍රධාන හේතු ගණනාවක් පිළිබඳ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අග්‍රාමාත්‍යවරයා සහ අදාළ විෂයභාර ඇමතිවරුන්ගේ සහභාගීත්වයෙන් පැවති ජීවන වියදම් කමිටුව විසින් අවධානය යොමු කරන ලද කරුණක් බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

එහි වැඩිදුරටත් දැක්වෙන්නේ, මෙම මිල ගණන් වැඩි කිරීම දේශීය ආර්ථිකය ශක්තිමත් කරන පොදු වැඩපිළිවෙලක එක් ප්‍රධාන සාධකයක් පමණක් බවය.

එම සම්පූර්ණ නිවේදනය පහතින්,

Giraya News Alerts

ඉන්ධන මිල ඉහළ දැමීමට ප්‍රධාන හේතු ගණනාවක් පිළිබඳ අතිගරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන්, ගරු අග්‍රාමාත්‍යතුමන් හා අදාළ විෂයභාර ඇමතිවරුන්ගේ සහභාගිත්වයෙන් පැවති ජීවන වියදම් කමිටුව විසින් අවධානය යොමු කරන ලදී.

ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල පසුගිය මාස කිහිපය තුළ අඛණ්ඩව ඉහළ යාම ඉන් එක් ප්‍රධාන හේතුවකි. මේ වන විට බොර තෙල් බැරලයක මිල ඇ.එ.ජ.ඩො.70 ඉක්මවා ඇති අතර, එය තවදුරටත් ඉහළ යනු ඇති බව වෙළෙඳපොළ ප්‍රවණතා මගින් පැහැදිලි කරයි.

ශ්‍රී‍රී ලංකාව ඉන්ධන ආනයන සඳහා අතිවිශාල විදේශ විනිමයක් දරණ රටක් පමණක් නොව, එම ආනයනයන් මත රටේ ප්‍රවාහන සේවා, විදුලි බල නිෂ්පාදනය හා ඇතැම් කර්මාන්තශාලා ද පවත්වා ගෙන යන රටක් බවට පත්වී ඇත. 2019 වර්ෂයේ පමණක් තෙල් ආනයනය සඳහා වැය කර ඇති විදේශ විනිමය ඇ.එ.ජ ඩො.මිලියන 3,677කි.

වාහන ආනයනය නතර කිරීම හා ජාත්‍යන්තර තෙල් මිල ගණන් 2019 දී බැරලයකට ඇ.එ.ජ.ඩො. 68.80 සිට 2020 දී ඇ.එ.ජ.ඩො. 45.57 දක්වා අඩුවීම නිසා 2020 දී මෙම වියදම ඇ.එ.ජ.ඩො. මිලියන 2,325ට අඩු කර ගැනීමට හැකි වුවද, මේ වන විට පවත්නා මිල ගණන් ඉහළ යාම නිසා 2021 වර්ෂයේ බැරලයක මිල ඇ.එ.ජ.ඩො. 70 ඉක්මවීම තුළ වාහන ආනයනය තහනම පවත්වා ගෙන ගියද, ඛනිජතෙල් ආනයනය සඳහා විදේශ විනිමය ඇ.එ.ජ.ඩො. මිලියන 4,000ක් පමණ වනු ඇත. මෙම වියදම සමස්ත විදේශ විනිමය උපයන අපනයන ආදායමෙන් 1/3කට ආසන්න වියදමකි.

බීජ, පොහොර, ආහාර, ඖෂධ සහ එන්නත් ආදියද, ආනයනය කරන මෙම ආනයන මත රඳා පවතින පරිභෝජන රටාව, නිෂ්පාදනය මත පරිභෝජනය කරන තත්ත්වයට පරිවර්තනය කළ යුතුය.

විදේශ විනිමය වැය කිරීමට අමතරව ලංකා ඛනිජ තෙල් සංස්ථාව පාඩු ලබන ආයතනයක් වශයෙන් පැවතීම නිසා සෑම වර්ෂයකම ලංකා බැංකුවෙන් හා මහජන බැංකුවෙන් ණය මත යැපෙන ආයතනයක් වී ඇත. මෙම බැංකු දෙක සඳහා මේ වන විට රුපියල් බිලියන 652ක ප්‍රමාණයක ණය ගෙවීමට ද ඇත. ලංකා විදුලිබල මණ්ඩලය ද රුපියල් බිලියන 85කට ආසන්න ණය මුදල් බැංකු දෙකට ගෙවීමට සිදු වන බැවින් මේ සඳහා රාජ්‍ය බැංකු දී ඇති ණයවලට භාණ්ඩාගාරය විසින් ඇපකරයන් ද නිකුත් කර ඇති අතර, ණය සඳහා අධික පොලියක් ද ගෙවීමට සිදුව ඇත.

පෞද්ගලික හා පොදු ප්‍රවාහන සේවා සඳහා සියයට 60ක පමණ වන ඉන්ධන භාවිතය අඩු කළ යුතුය. එබැවින් ප්‍රවාහනය සඳහා ELECTRIC රථ වාහන මෙන්ම දුම්රිය සේවා හැකිතාක් දුරට විදුලි බලයෙන් ක්‍රියාත්මක වන සේවාවන් බවට පත් කළ යුතුය. ඛනිජ තෙල් වලින් ධාවනය වන වාහන ආනයනය මුළුමනින්ම නතර කර ELECTRIC රථ වාහන භාවිතය ප්‍රචලිත කිරීමත්, ත්‍රීරෝද රථ සඳහා ELECTRIC එන්ජින් ලබා දීමත් මගින් ප්‍රවාහන පිරිවැය ද ස්ථාවර කර ගත හැකිය.

ඉන්ධන භාවිතය අධික වීම නිසා නාගරික ප්‍රදේශවල වාතය අපිරිසිදු වීමත්, ජනතාවගේ පෙනහළු ආශ්‍රිත රෝග වැඩිවීමත් තුළ පරිසර හිතකාමී බලශක්ති මූලාශ්‍රවලට කඩිනමින් පිවිසීම අනිවාර්ය වේ. කැලණිතිස්ස තෙල් විදුලි බලාගාරය LNG විදුලි බලාගාරයක් බවට පත් කර ගැනීමෙන්, විදුලිබල මණ්ඩලය විසින් ඉන්ධන සඳහා ගෙවන අධික මිල ද අඩු කර ගත හැකිය.

දේශගුණික තත්ත්වයන්ට ඔරොත්තු දෙන හරිත ආර්ථිකයක් කරා වන ජාතික සංවර්ධන වැඩසටහනට අනුව පොහොර, ඉන්ධන, වන සම්පත්, කැලිකසළ ජන ජීවිතයේ ගුණාත්මකභාවය ඉහළ නංවන අයුරින් කළමනාකරණය කළ යුතුය.

එබැවින් මිල වැඩි කිරීමට අමතරව, ආනයනික ඉන්ධන මත රඳා පවතින පරිභෝජන රටාව වෙනස් කිරීමට රජය විසින් යෝජනා රැසක් ක්‍රියාත්මක කිරීමට ප්‍රවේශ වී ඇත.

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි ජනනය සඳහා සාමාන්‍ය වශයෙන් සියයට 30ක පමණ ඉන්ධන භාවිතා කරන බැවින්, එය වලක්වා ගැනීම සඳහා පුනර්ජනනීය බලශක්ති ජනනය කඩිනම් කිරීමට ද රජය කටයුතු කරමින් සිටී. මේ නිසා සෑම නිවසකටම, පාසැල්, රෝහල් හා රජයේ ගොඩනැගිල්ලක් සඳහා සූර්ය තාප විදුලි නිෂ්පාදන කට්ටල ලබා දීම මගින් ජනතාව පිට පැටවෙන අධික මිල ගණන් වල පීඩනය අඩු කිරීම පමණක් නොව, එම විදුලි ඒකක විදුලිබල මණ්ඩලයට ලබාදීම මගින් ආදායම් මාර්ගයක් ද ඇති කළ හැකිය.

එබැවින්, මෙම මිල ගණන් වැඩි කිරීම දේශීය ආර්ථිකය ශක්තිමත් කරන පොදු වැඩපිළිවෙළක එක් ප්‍රධාන සාධකයක් පමණි. එය රටේ බැංකු පද්ධතිය ශක්තිමත් කර අඩු පොලී අනුපාත පවත්වා ගැනීමටත්, විදේශ විනිමය වියදම් අඩු කර විනිමය අනුපාතය ශක්තිමත් කර ගැනීමටත්, ජනතාවගේ සෞඛ්‍යය හා සුභසාධනය සුරක්ෂිත කර ගැනීමටත්, ආනයනය මත රඳා පවතින පරිභෝජන ආර්ථිකය, දේශීය නිෂ්පාදන මත රඳා පවතින ආයෝජන හා පරිභෝජන ආර්ථිකයක් බවට පරිවර්තනය කර ගැනීමට ගත් තීරණයකි.

Continue Reading

NEWS

බස් ගාස්තු වැඩි නොවන බවට ඇමති සහතික වෙයි

Published

on

ඉන්ධන මිල වැඩි වීම හේතුවෙන් බස් ගාස්තු සියයට 15කින්වත් ඉහළ දමන්නැයි බස් සංගම් රජයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් කෙටි දුර ධාවනය වන බස් රථයක් සඳහා දිනකට රුපියල් 700 ක මුදලකුත් දිගු දුර ධාවනය කරන බස් රථයක් සඳහා දිනකට රුපියල් 1200 කුත් වැයවන බව සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් මහතා පවසයි.

මෙයට අමතරව සේවා ගාස්තු ඇතුළු අනෙකුත් වියදම් ද පසුගිය දිනවල සීඝ්‍රයෙන් වැඩි වී ඇති බවත් ඔහු සඳහන් කළේය. මේ සම්බන්ධයෙන් අනෙකුත් බස් සංගම් සමගද සාකච්ඡා සිදු කර ඇති බවත් පැවසූ ඒ මහතා සිය ස්ථාවරය ප්‍රවාහන බලධාරීන් වෙත දැනුම් දීමට කටයුතු කරන බවත් සඳහන් කරයි.

Giraya News Alerts

කෙසේවෙතත්, ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසන්නේ බස් ගාස්තුවල කිසිදු වැඩි වීමක් සිදු නොකරන බවයි. දැනට ජනතාවට දැරිය හැකි උපරිම ප්‍රමාණයට බස් ගාස්තුව ඉහළ දමා ඇති බව ද අමාත්‍යවරයා පවසනවා.

නමුත්, බස් හිමියන් සඳහා ඉන්ධන හා ලීසිං සහන ඇතුළු සහනාධාර ලබා දීමට බලාපොරොත්තු වන බව අමාත්‍යවරයා පවසයි.

ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා මේ බව සඳහන් කළේ, මහනුවර ප්‍රදේශයේ අද (13) පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් ය.

එහිදී, අදහස් දැක්වූ අමාත්‍යවරයා, ‘මම ඉතාම පැහැදිලිව කියන්න ඕනේ විෂය භාර ඇමතිවරයා හැටියට රුපියලකින්වත් බස් ගාස්තු වැඩි කරන්නේ නැහැ. මොකද ජනතාවට දැරිය හැකි උපරිම ප්‍රමාණයට අපි බස් ගාස්තුව වැඩි කරලා ඉවරයි.

ඒකට හේතුව පහුගිය කාලේ සංචරණ සීමා නිසා ආසන ගාණට පමණක් මගීන් ගෙනයන්න කියලා අපිට උපදෙස් දෙන්න සිද්ධ වුනා. එතකොට අපි ආසනගත මගීන් සංඛ්‍යාව පමණක් ප්‍රවාහනය කිරීමේ ගාස්තුවට මේ බස්රථ ගාස්තුව අපි සංශෝධනය කෙරුවා. ඒ වෙද්දී ඒක සියයට 20ක බස් ගාස්තු වැඩිවීමක්. ඒ වෙද්දි ඒක අත්‍යාවශ්‍යයි. මොකද නැත්නම් බස් හිමියන්ට ඒ ව්‍යාපාරේ පවත්වාගෙන යන්න බැහැ.

දැනුත් බස් හිමියන්ට ප්‍රශ්නයක් තියෙනවා. සංගම් කියන එක අපි පිළිගන්නවා. අපි හිතමු ගාස්තුව වැඩි කෙරුවා කියලා. වැඩි කෙරුවත් මිනිස්සු යන්නේ නැ බස් රථවල. ඊගාවට අපිට ආයි කවදා වහන්න වෙයි ද දන්නේ නැ. ඒ නිසා පෞද්ගලික ප්‍රවාහන ක්ෂේත්‍රයේ විතරක් නෙමෙයි. රාජ්‍ය ප්‍රවාහන ක්ෂේත්‍රයෙත් ප්‍රශ්නසහගත තත්ත්වයක් තියෙනවා මේ කොවිඩ් 19 තත්ත්වය නිසා.

අපි පැහැදිලිව ජනතාවට කියන්න ඕනේ බස් ගාස්තු අපි වැඩි කරන්නේ නැහැ. හැබැයි අපි බස් හිමියන්ට යම් සහනයක් සහනාධාරයක් දෙන්න. පසුගිය කාලේ අපි දුන්නා. ලක්ෂ තුනේ ණය දුන්නා. ලීසිං සහනය දුන්නා. දෙන්න පුළුවන් හැමදේම අපි දෙනවා. නමුත් ඒ අයට අපි සහනයක් දිය යුතුයි.” යනුවෙන් පැවසුවා.

Continue Reading

NEWS

සූම් ඔස්සේ රැඳවියන්ටත් ඥාතීන් එක්ක කතා කරන්න අවස්ථාව

Published

on

වැලිකඩ, අඟුණකොළපැලැස්ස යන බන්ධනාගාර ඇතුළු බන්ධනාගාර 06ක සූම් තාක්ෂණය ඔස්සේ සිරකරුවන්ට ඔවුන්ගේ ඥාතීන් සමඟ කතා බහ කිරීමට නව ක්‍රමවේදයක් සකස් කර ඇති බව රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා පවසයි.

“පවතින තත්ත්වයත් සමග අපි සූම් තාක්ෂණය ඔස්සේ රැඳවියන්ට සිය ඥාතීන් සමග සම්බන්ධවීමේ අවස්ථාව සකස්කරලා දීලා තියෙනවා. ඒ වගේම අපගේ වෙබ් අඩවියට ගිහින් සිරකරුවගේ නමයි අංකයයි ඇතුළත් කළාම අපි නම්බරයක් සහ වෙලාවක් ලබා දෙනවා. ඒ වෙලාවට ආපුවාම සිරකරු සමග කතාබහ කරන්න ඒ ඥාතියට අවස්ථාව තියෙනවා.” යනුවෙන් ද රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා සඳහන් කළේය.

මේ අතර දිවයිනේ සියලුම බන්ධනාගාර නිලධාරීන්ට කොවිෂිල්ඩ් කොවිඩ් මර්දන එන්නතේ මාත්‍රා දෙකම ලබාදී ඇති බව බන්ධනාගාර ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා පැවසීය.

Giraya News Alerts

රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ බන්ධනාගාර රැඳවියන්ට එන්නත ලබාදීම ප්‍රායෝගික නොවන බැවින් ඔවුන් කොවිඩ් පරීක්ෂණ සඳහා යොමුකර නිරෝධායනයට යොමු කිරීමේ ක්‍රමවේදයක් පමණක් ක්‍රියාත්මක වන බවය.

Continue Reading

Trending

Copyright © 2016 Giraya News. Powered by Digital Hub