Connect with us
Advertise with Giraya

POLITICS

“පොලීසිය නීතිය නවලා හිතුමතේ වැඩ කළේ නැහැ” – අමාත්‍ය සරත් වීරසේකර

Published

on

නිරෝධායන පනත නොතකා සිදු කරන විරෝධතා සම්බන්ධයෙන් පොලීසිය පියවර ගන්නේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ලබා දී ඇති ලිඛිත නියෝග අනුව බව මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා පවසයි. එමෙන්ම, නීති විරෝධීව පවත්වන ලද උද්ඝෝෂණවල නිරත වීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ පුද්ගලයින් නිරෝධායනය සඳහා යොමු කළේ සෞඛ්‍ය අංශවල උපදෙස් මත බව ද අමාත්‍යවරයා සඳහන් කරයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, කඩුවෙල නව පොලිස් ස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී වෙමින් ය.

එහිදී, අදහස් දක්වමින් අමාත්‍යවරයා, ‘පොලීසිය කවදාවත් හිතුමතේ, තමන්ට අවශ්‍ය කරන විදියට නීතිය නවලා හිතුමතේ වැඩ කළේ නැහැ. පොලීසිය වැඩ කළේ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ නියෝග පිට නිරෝධායන පනත යටතේ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාට නියෝග නිකුත් කරන්න පුළුවන්. ඔහු නියෝගයක් නිකුත් කරලා තිබුනා පොලිස්පතිතුමාට සියලුම උද්ඝෝෂණ වහාම නැවැත්විය යුතුයි. ඒක රෝග ව්‍යාප්තියට බලපාන නිසා. අපි දන්නවා ඉන්දියාවේ මේ වගේ රැස්වීම් තියලා තමයි අද ඉන්දියාව නැත්තටම නැති වුනේ කොරෝනා වසංගතයෙන්.

Giraya News Alerts

ඒ නිසා මේක සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් ලැබිච්ච ලිඛිත නියෝගයක්. ඒ අනුව තමයි එදා අපි උද්ඝෝෂණයට සහභාගි වුන අයට උදේ ඉඳන්ම කිව්වා උද්ඝෝෂණයට සහභාගි වෙන්න එපා කියලා. අපි බැනර් දැම්මා. අපි ස්පීකරවලින් කිව්වා. මේකට එන්න එපා කියලා කිව්වා. මෙහෙම නියෝගයක් තියෙනවා කියලා කිව්වා. මෙතැනට ආවොත් අත්අඩංගුවට ගන්න වෙයි කියලා කිව්වා. ඒ සියළු දෙයක්ම අහන්නේ නැතිව තමයි ඔවුන් ඒ උද්ඝෝෂණයට සහභාගි වුනේ නිරෝධායන නීති කඩමින්. ඒ අනුව තමයි පොලීසිය ඔවුන්ව අත්අඩංගුවට ගත්තේ.

පොලීසිය අත්අඩංගුවට අරගෙන ඔවුන්ව ඇප පිට නිදහස් වුනා. නමුත් එතැනදී අපි නිරෝධායනයට යැව්වේ පොලීසියට ඕනේ හින්දා නෙමෙයි. ඒකට පී.එච්.අයි. එහෙම නැත්නම් මහජන සෞඛ්‍ය නිලධාරීගෙන් ලිඛිත උපදෙසක් එහෙම නැත්නම් ලිඛිත ලේඛනයක් අපිට තියෙනවා ඔවුන් අනිවාර්යයෙන්ම වහාම නිරෝධායනයට යවන්න කියලා නිරෝධායන මධ්‍යස්ථානයකට. ඒ අනුව තමයි පොලීසිය කටයුතු කළේ.” යනුවෙන් පැවසුවා.

NEWS

මගෙයි ඉරාජ්ගෙයි කිසිම සම්බන්ධයක් නෑ – යෝෂිත රාජපක්ෂ, ඉරාජ්ගේ ෆේස්බුක් පිටුව යළි මතුවෙයි

Published

on

By

ජනප්‍රිය සංගීතඥයෙකු වන ඉරාජ් වීරරත්නට පහ ර දුන් බවට පැතිර යන කටකතා සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බව ඩේලි මිරර් පුවත්පතේ මාධ්‍යවේදිනී ජමිලා හුසේන් සමග පැවති සාකච්ඡාවක දී අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී යෝෂිත රාජපක්ෂ පවසා තිබෙනවා.

එසේම, තමන්ට ඉරාජ් වීරරත්න සමඟ කිසිදු සම්බන්ධයක් නැති බව ද යෝෂිත රාජපක්ෂ පවසා තිබෙනවා. “මම ඔහුව අවසන් වරට දුටුවේ මා කලකට පෙර සහභාගී වූ උත්සවයකදී ය. මම ඔහු සමඟ කිසිසේත් සම්බන්ධ වී නැත. ඔහුගේ ඉල්ලා අස්වීමට මගේ කිසිඳු සම්බන්ධයක් නෑ” යෝෂිත පැවසීය.

ඉරාජ් වීරරත්න ජාතික තරුණ සේවා සභාවේ තනතුරෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව දැනුම් දෙමින් පසුගිය බදාදා ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ වෙත ලිපියක් යවා තිබුණි. පෙර යොදාගෙන තිබූ පෞද්ගලික වැඩකටයුතුවලට සහභාගී වීමට සිදු වූ බැවින් මෙම තීරණය ගත් බව ඔහු එම ලිපියෙන් වැඩිදුරටත් දන්වා තිබුණි.

Giraya News Alerts

කෙසේ වෙතත්, අදාළ සිදුවීම් මාලාව සමග ඉරාජ්ගේ නිල ෆේස්බුක් පිටුව ද හදිසියේ අතුරුදන් වී තිබූ අතර ජනතා විමුක්ති පෙරමුණේ වසන්ත සමරසිංහ පවසා තිබුණේ තමන් සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රචාරයක් කිරීම පිළිබඳ තමන් ෆේස්බුක් ආයතනය වෙත පැමිණිලි කළ බවත් මේ වනවිට එම පිටුව නැති වී තිබෙන බවත් ය. නමුත් එම ප්‍රකාශයෙන් පැය කිහිපයක් ඇතුළත යළිත් ඉරාජ්ගේ නිල ෆේස්බුක් පිටුව ඔහුගේ ඡායාරූපයක් ද සහිතව යාවත්කාලීන කර තිබුණි. එසේම එහි පැරණි පළ කිරීම් සියල්ල ඉවත් කර ඇති බව ද පෙනෙන්නට ඇත.

Continue Reading

POLITICS

ඇමති සැප මෙන්න, ඇමතිවරුන්ට මේ දේවල් කැප කරන්න පුලුවන් ද?

Published

on

By

කොවිඩ්-19 අරමුදල සඳහා කැබිනට් අමාත්‍යවරුන්ගේ අගෝස්තු මස වැටුප පරිත්‍යාග කිරීමට කැබිනට් මණ්ඩලය අගෝස්තු 23 වැනිදා තීරණය කර තිබේ. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කර තිබූ යෝජනාවට කැබිනට් මණ්ඩලයේ දී අනුමැතිය හිමිව ඇති බව වාර්තා වේ.

කෙසේ ‌නමුත්, වත්මන් තත්වය මධ්‍යයේ ද කැබිනට් හා රාජ්‍ය අමාත්‍යවරුන් අතිවිශාල වරප්‍රසාද ප්‍රමාණයක් ලබා ගනිමින් සිටී. මෙම අධික වරප්‍රසාද අවම වශයෙන් ‌රට ආර්ථික වශයෙන් ස්ථාවර ‌වනතෙක් හෝ ලබා‌නොගෙන සිටීමට මෙතෙක් කිසිඳු ඇමතිවරයෙකු ඉදිරිපත්ව නැත.

මේ අමාත්‍යවරුන් ලබන අධික වරප්‍රසාද පිළිබඳ “ගිරය” කළ සොයා බැලීමකි.

Giraya News Alerts

ඒ අනුව, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු 54,285කි. අනෙක් වැටුප් මෙසේය.

  • අග‍්‍රාමාත්‍යවරයා රු. 71,500 යි
  • කතානායකවරයා රු. 68,500 යි
  • කැබිනට් හා කැබිනට් නොවන අමාත්‍යවරු රු. 65,000 යි
  • විපක්ෂ නායක රු.65,000 යි
  • නියෝජ්‍ය අමාත්‍යවරු රු. 63,500 යි
  • නියෝජ්‍ය කතානායක රු. 63,500 යි
  • නියෝජ්‍ය කාරක සභාපති රු. 63,500 යි

අමාත්‍යවරුන් සඳහා ගෙවනු ලබන ඉන්ධන දීමනාව මෙසේය.

  • බස්නාහිර පළාත තුළ පෙට්‍රල් වාහන සඳහා ලීටර් 600ක් ද,
  • බස්නාහිර පළාතෙන් පිට පෙට්‍රල් වාහන සඳහා ලීටර් 750ක් ද,
  • බස්නාහිර පළාත තුළ ඩීසල් වාහන සඳහා ලීටර් 600ක් ද,
  • බස්නාහිර පළාතෙන් පිට ඩීසල් වාහන සඳහා ලීටර් 500ක් ද, හිමි වේ.

මේ අනුව, මීට අදාළ මුදල මෙසේය.

පෙට්‍රල් ඉන්ධන ලීටර් 600 සඳහා ඔක්ටේන් 95න් ලබා ගතහොත් රු.110,400ක් වන අතර ඔක්ටේන් 92න් ලබා ගතහොත් රු. 94,200කි. ඉන්ධන ලීටර් 750 සඳහා ඔක්ටේන් 95න් ලබා ගතහොත් රු.138,000ක් වන අතර ඔක්ටේන් 92න් ලබා ගතහොත් රු. 117,750කි.

ඩීසල් ඉන්ධන ලීටර් 600 සඳහා ඔටෝ ඩීසල් ලබා ගතහොත් රු.66,600ක් වන අතර සුපර් ඩීසල් සඳහා ලබා ගතහොත් රු. 86,400කි. ඉන්ධන ලීටර් 500 සඳහා ඔටෝ ඩීසල් ලබා ගතහොත් රු.55,500ක් වන අතර සුපර් ඩීසල් ලබා ගතහොත් රු. 72,000කි.

එසේම,

වැටුපට අමතරව අමාත්‍යවරයෙකුට 15 දෙනෙකුගෙන් යුත් කාර්යය මණ්ඩලයක්ද හිමිවෙයි.

එම කාර්ය මණ්ඩලය මෙසේය.

  • පෞද්ගලික ලේකම්
  • සම්බන්ධීකරණ ලේකම්වරුන් දෙදෙනෙකි
  • මාධ්‍ය ලේකම්
  • මහජන සම්බන්ධතා නිලධාරි
  • පුද්ගලික සහකාර
  • කාර්යාල කාර්ය සහයක දෙදෙනෙකි
  • රියදුරන් දෙදෙනෙකි.
  • කළමනාකරණ සහකාර පස් දෙනෙකි.

බොහෝ අමාත්‍යවරුන් සිය පවුලේ සාමාජිකයෙකු පුද්ගලික කාර්ය මණ්ඩලය වෙත පත් කර ඊට ලැබෙන වරප්‍රසාද ද ලබා ගනිමින් සිටී. අමාත්‍යවරයෙකුගේ පුද්ගලික කාර්ය මණ්ඩලයේ ප්‍රධාන තනතුරු 5කි. ඔවුන්ගේ වැටුප් හා දීමනා මෙසේය.

අමාත්‍ය කාර්ය මණ්ඩලයට නිල වාහන 5 ක්ද හිමිවෙයි.

  • පුද්ගලික ලේකම් – රු. 47,750
  • සම්බන්ධීකරණ ලේකම්වරුන් 2ක් – රු. 46,200 බැගින්
  • මාධ්‍ය ලේකම් – රු. 46,200
  • මහජන සම්බන්ධතා නිලධාරී – රු. 46,200

මෙම කාර්ය මණ්ඩලයේ සියලුම නිලධාරීන්ට නිල වාහනයක්, ඉන්ධන දීමනාවක් හා දුරකතන දීමනාවක් ද ඇතුළුව අතිරේක දීමනා හිමිවේ.

  • පුද්ගලික ලේකම් – ‌ඉන්ධන ලීටර් 240ක්
  • අනෙකුත් ලේකම්වරුන් සඳහා – ඉන්ධන ලීටර් 218 බැගින්

මීට අමතරව ඇතැම් අමාත්‍යවරුන් සඳහා අමාත්‍යංශ මගින් අතිරේක වාහන ලබාදෙන අවස්ථා ද ඇති අතර ඇතැම් අවස්ථාවල දී අමාත්‍යවරුන්ගේ මාධ්‍ය කණ්ඩායම් සඳහා ගමන් කිරීමට අමාත්‍යංශය මගින් ඉන්ධන සමග වාහන ලබා දෙනු ලබන අවස්ථා ද ඇත. ‌

මෙහිදී දක්වා ඇත්තේ අමාත්‍යවරුන් ලබාගන්නා වැටුප, ඉන්ධන දීමනා හා වාහන පමණක් වන අතර අමාත්‍යවරයෙකු වෙනුවෙන් රජය මගින් නඩත්තු කරනු ලබන නිල නිවසක් ද හිමිවනු ඇත. ඒවායේ විදුලි බිල්පත් පවා ගෙවා දමනු ලබන්නේ රජය විසිනි.

ඉහත පහසුකම්වලට අමතරව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් ලෙස ලබන වරප්‍රසාද ද ඇත. ඒවා අතර ප්‍රධාන වශයෙන් පහත දක්වා ඇති දීමනා හිමිවේ.

  • පාර්ලිමේන්තු රැස්වීම් වලට සහභාගිවීම වෙනුවෙන් එක් දිනක් සඳහා පැමිණීමේ දීමනාව රු. 2500/=.
  • පාර්ලිමේන්තු රැස්වීම් නොපැවැත්වෙන දිනවල රැස්වෙන කාරක සභා සඳහා සහභාගී වීම වෙනුවෙන් දිනකට රු. 2500/= බැගින්.
  • කාර්යාලයක් පවත්වාගෙන යාම සඳහා මසකට රු. 100,000/= ක් බැගින්.

මීට අමතරව,

  • ඉන්ධන දීමනාව – එක් එක් මන්ත්‍රීවරයා/වරිය තේරී පත්වුණ දිස්ත්‍රික්කයේ සිට පාර්ලිමේන්තුවට ඇති දුර පදනම් කර ගණනය කළ ඩීසල් ලීටර ප්‍රමාණය සඳහා මාසයේ පළමු දිනට පවතින වෙළඳපොල මිළ ගණන් අනුව ගෙවනු ලැබේ. (උදා: කොළඹ ලී‍ටර් 283.94, ගම්පහ සහ කළුතර ලී‍ටර් 355.58)
    දුරකථන දීමනාව
  • ස්ථාවර දුරකථන හා ජංගම දුරකථන සඳහා මාසිකව රු. 50,000/= (දුරකථන බිල්පත් ගෙවීම හෝ ප්‍රතිපූර්ණය කරනු නොලැබේ)
  • පෞද්ගලික කාර්ය මණ්ඩල ප්‍රවාහන දීමනාව – පෞද්ගලික කාර්ය මණ්ඩල සාමාජිකයන් 04 දෙනෙක් කාර්යාලයට පැමිණීම වෙනුවෙන් එක් ‍‍අයෙක් සඳහා රු. 2,500/= බැගින් මාසිකව රු. 10,000/=
  • නිදහස් තැපැල් පහසුකම් – සෑම මන්ත්‍රීවරයෙකුටම වාර්ෂිකව රු. 350,000/= ක් වටිනා මුද්දර (එක් කාර්තුවකට රු. 87,500/= ක් බැගින්) ලබා දේ.

මන්ත්‍රීවරයෙකුට හිමි පහත වරප්‍රසාද පමණක් අමාත්‍යවරයන් වෙත හිමි නොවේ.

  • මන්ත්‍රී දීමනාව (වැටුප) රු. 54,285.00
  • සංග්‍රහ දීමනාව රු. 1,000/=
  • රියදුරු දීමනාව රු. 3,500/=

Continue Reading

POLITICS

රාජ්‍ය සේවක වැටුපෙන් 50%ක් කම්කරු වැටුපෙන් 30%ක් ආර්ථිකයට දායක කරගන්න – ඇමති ප්‍රසන්න ජනපතිගෙන් ඉල්ලයි

Published

on

By

රට අඟුලු දා තිබෙන කාලසීමාවේදී රාජ්‍ය හා පෞද්ගලික සේවකයින්ගේ වැටුපෙන් 50%ක් හා සුළු කම්කරුවන්ගේ වැටුපෙන් 30%ක් පරිත්‍යාග කරමින් රටේ ආර්ථිකයට දායකත්වය දැක්වීමට තමා යෝජනා කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, සංචාරක අමාත්‍ය, ප්‍රසන්න රණතුංග මහතා පවසනවා.

අගෝස්තු 20 දින ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් ඔහු පවසන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැටුපෙන් ද 75%ක් ඊට දායක කරගන්නා ලෙසයි.

එම සම්පූර්ණ ලිපිය පහතින්.

Giraya News Alerts

අතිගරු ජනාධිපතිතුමනි,

කොරෝනා වසංගත ව්‍යාප්තිය හමුවේ ගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙනි

රට තීරණාත්මක මොහොතකට එළඹ තිබේ. එම තීරණාත්මක මොහොතේ ඔබ වෙත යොමු කරන මෙම ලිපිය ජනතාවගේ දැනුවත් වීම උදෙසා මාධ්‍ය වෙතද යොමු කරමි. හෘද සාක්ෂියට එකඟව කටයුතු කරන පුද්ගලයෙක් වශයෙන් මේ අවස්ථාවේ මා දරන ස්ථාවරය ප්‍රකාශ කළ යුතුව තිබේ. මා මේ ලිපිය ලිවීම නිසා බොහෝ අයගේ අප්‍රසාදයට ලක්විය හැක. සමහරු මට බැණවැදීමටත්, මඩ ගැසීමටත් ක්‍රියාකරනු ඇත. එදිනෙදා ආදායම් ලබන අති බහුතරයක් වූ ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාව වෙනුවෙනුත්, සමස්ත රට වැසියා වෙනුවෙනුත් ඒ සියලු ඇනුම් බැනුම් චෝදනා භාර ගැනීමට සූදානම් වී මගේ ස්ථාවරය ප්‍රකාශ කරමි.

කොරෝනා වසංගත ව්‍යාප්තිය හමුවේ රට වසා දමන්නැයි විපක්ෂය ගෙන යන ප්‍රචාරාත්මක වැඩපිළිවෙළට මහා සංඝරත්නය ඇතුළු ආගමික නායකයින් ද, සම්බන්ධ වෙමින් පවතියි. නිසි අරමුණක් නොමැතිව,අනාගත දැක්මක් නොමැතිව වසංගත තත්ත්වය සම්බන්ධයෙන් කටයුතු කරන විපක්ෂය බලා සිටින්නේ වසංගතයට මුවාවී හෝ බලය ලබා ගැනීමටයි. කැඩුණු විසුරුණු විපක්ෂය වසංගත තත්වය හමුවේ සංවේදීව සිටින ජනතාවගේ මනස බලය පෙරලීම දක්වා ක්‍රමානුකූලව හැඩගස්වන වැඩපිළිවෙළක් අපූරුවට ක්‍රියාත්මක කරමින් සිටියි. වසංගතය යම්තාක් දුරට පාලනය කරගෙන තිබුනු අවස්තාවේ විපක්ෂයේ අනුදැනුම ඇතිව උද්ඝෝෂණ පෙළපාලි රැසක් සංවිධානය කෙරිණි. සීඝ්‍ර පැතිරීමක් ඇති ඩෙල්ටා ප්‍රභේදය මෙරටින් වාර්තා වී තිබියදීත් සෞඛ්‍ය උපදෙස් නොපිලිපදිමින් ජන ඒකරාශිවීම් සංවිධානය කලේ ජන ජීවිතවල වටිනාකම නොතකමිනි.මෙවර වසංගත ව්‍යාප්තියට විපක්ෂය සම්පූර්ණයෙන් වගකිව යුතුයි. ලෝකයම වසංගතයකට මුහුණ දී, ඊට නිසි විසඳුමක් නොමැතිව සිටින අවස්ථාවක වගකීම් විරහිතව කටයුතු කරන විපක්ෂය වසංගතය පාලනය කිරීම සඳහා කිසිදු වැඩපිළිවෙළක් ඉදිරිපත් කරන්නේද නැත.

මේ අභියෝගාත්මක අවස්ථාවේ බලය රැකගැනීමට වඩා ජන ජීවිත ආරක්ෂා කර ගැනීම රජයේ වෑයමයි.මාධ්‍ය ඉදිරියේ සංදර්ශන පවත්වමින් ජනතාව තුළ සෘණාත්මක අදහස් ව්‍යාප්ත කරනවා වෙනුවට ජනතාවට සත්‍ය පැහැදිලි කර දෙමින් වසංගතයෙන් ආරක්ෂා කර ගැනීමේ භාරදූර වගකීමක් ආණ්ඩුව සතුව ඇත.

මා නියෝජනය කරන සංචාරක ක්ෂේත්‍රයේ ඇද වැටීම සිදු වන්නේ ඉකුත් යහපාලන රජය සමයේ පාස්කු ප්‍රහාරයත් සමඟයි. පසුව කොරොනා වසංගතය සමඟ සංචාරක ව්‍යාපාරය කිසිදා නොවූ ලෙස ඇද වැටිණි. සංචාරක හෝටල් හිමිකරුවාගේ සිට මහමග තැඹිලි විකුනන පුද්ගලයා දක්වා ක්ශ්‍රේෂ්ත්‍රය ට අදාල සෑම කෙනෙක්ම ජීවත්වීමේ ගැටළු රැසකට මුහුණ දී සිටී. සංචාරක ක්ශ්‍රේතයේ ගැටලු වලට එකින් එක විසඳුම් ලබා දෙමින්, සෞඛ්‍යය මාර්ගෝපදේශ අනුව සංචාරක කර්මාන්තය නගාසිටුවීමට ප්‍රයත්න දරන අවස්ථාවක රට අඟුලු දැමීමට විපක්ෂය ගෙන යන උත්සහය නිසා රට කබලෙන් ලිපට වැටීමක් සිදුවේ.

රට අඟුළු දමන ලෙස යෝජනා කරන වෘත්තීය සමිතිවල අයට රට අඟුලු දැමුවත් වැටුප් ලැබෙන නිසා කිසිදු ආර්ථික අපහසු තාවයක් ඇති නොවේ.මා ද ඇතුළුව ඔවුන්ට පඩි ගෙවීමට අති විශාල මුදලක් වෙන්කිරීමට රජයට සිදු වේ. මේ වැටුප් ගෙවන්නේ ජනතාවගේ බදු මුදලිනි. රට අගුළු දැමූ විට මාසික වැටුපක් නොලැබෙන පවුල් දැඩි අසීරුතාවකට ලක්වේ. ඒ ජනතාවගේ බදු මුදලින් වැටුප් ගන්නා අප නිවසට වී කා බී දොරඟුලු ලාගෙන සිටින විට ඔවුන්ගේ නිවෙස් වල බතක් නොයිදෙන්නේ නම් රට අඟුලු ලා පලක් තිබේද. මෙවැනි අවස්ථාවක රට අඟුලුලන්නේ නම් හෘද සාක්ෂියට එකඟව ජනතා බදු මුදලින් වැටුප් ලැබීමේ හැකියාවක් නැත.

මීට ප්‍රථම කිහිප වතාවක් රට අගුළු දා තිබියදී ගම්පහ දිස්ත්‍රික් නායකයා වශයෙන් දිස්ත්‍රික්කයේ කොවිඩ් කමිටු රැස්වීම්වලට මා ඇතුළු දේශපාලන නායකත්වයත්, දිස්ත්‍රික්කයේ නිලධාරී යාන්ත්‍රණයත් නොකඩවා සහභාගි වූහ. රෝහල් වල අවශ්‍යතා සපුරාලීම, නව රෝහල් වාට්ටු ඉදිකිරීම, රෝගීන්ට අවශ්‍ය පහසුකම් ඇති කිරීම, අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන ඇති කිරීම ආදිය මෙන්ම රට අඟුළු ලෑම නිසා ජනතාවට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා නිවෙස් අසලටම වෙළඳුන් යැවීම, ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා රුපියල් 5000 දීමනාව ගෙවීම, නිරෝදායනය වන පවුල් වලට ආහාර ද්‍රව්‍ය ලබාදීම ආදී කටයුතු සොයා බලා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම අපගේ ප්‍රධානත්වයෙන් සිදුවිය. ඒ අතරතුර රට විවෘත කරන ලෙස රජයට බලපෑම් කිරීමද ඒ සෑම අවස්ථාවකම සිදුවිය. සෞඛ්‍යය හා ආරක්ෂක සේවයේ නියුතු වූවන් මෙන්ම දිස්ත්‍රික් ලේකම් , ප්‍රාදේශීය ලේකම් ඇතුළු ක්ෂේත්‍ර නිලධාරීන් සිය ජීවිත අවදානම නොතකා වසංගතය පවතින මේ මොහොතේත් දක්වන සහය විශේෂයෙන් අගය කළ යුතුයි. රට සම්පූර්ණයෙන් අඟුලුලෑ විට මෙම නිලධාරීන්ගේ සේවය බලහත්කාරයෙන් ලබා ගැනීමට ද නොහැක.

වසංගත තත්වය මදක් සමනය වීමත් සමඟ රට විවෘත කළ හැටියේ ජනතාව පාලනයකින් තොරව හැසිරීම නිසා නැවතත් වසංගත තත්ත්වය ව්‍යාප්ත වේ. මද කලකට රට අඟුරු ලෑම වෙනුවට සෞඛ්‍යාරක්ෂිත හැසිරීමකට හුරුවෙමින් රට පවත්වාගෙන යාම සුදුසුම ක්‍රමවේදයයි. ආර්ථික අතින් ශක්තිමත්, සිය රටේ ජනතාවගේ සියලු වියහියදම් දැරිය හැකි රටවල් කිහිපයක් හැරෙන්නට අනෙක් සෑම රටක්ම දැඩි සංචරණ නීති යටතේ සෞඛ්‍යය උපදෙස් අනුව රට පවත්වාගෙන යයි. යම් කාලයකට රට වසා දැමුවා කියා වසංගතයට නිසි විසඳුමක් ලැබෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානය හෝ තහවුරු කර නැත.

ආසියාවේ අනෙකුත් අනිකුත් රටවලට වඩා සාර්ථකව එන්නත්කරන වැඩපිළිවෙල ක්‍රියාත්මක වුවත් විපක්ෂය උලුප්පා දක්වන්නේ එහි අඩුපාඩු පමණි. සයිනොෆාම් එන්නත මෙරටට ගෙන ආවත් විපක්ෂයේ දැඩි විවේචන හේතුවෙන් ඊට අනුමැතිය ලබා ගැනීමට මාසයකට වැඩි කාලයක් ගත විය. කොරෝනා ආසාදිත මරණවලින් වැඩි ප්‍රමාණයක් එන්නත්කරනය නොවූ පුද්ගලයන්ය. නිසි කලට එන්නත් වැඩපිළිවෙළ ආරම්භ කිරීමට හැකි වූවා නම් මේ වන විට එන්නත් කරන වැඩපිළිවෙල අවසන්ය. ජනතාව ද වෛරසයට ඔරොත්තු දෙන අන්දමේ ප්‍රතිශක්තිකරණයක් සහිතය. කවදත් දුරදිග නොබලා කටයුතු කළ විපක්ෂය තවමත් වසංගතය සම්බන්ධයෙන් තීරණ ගන්නේ දේශපාලන කෝණයකිනි.

ආණ්ඩු බලය තිබියදී මහබැංකු වංචාව සිදු කළ විපක්ෂය හිස් වූ භාණ්ඩාගාරයක් වත්මන් රජයට භාරදුන් බව මේ වන විට අමතක කර තිබේ. රජයේ ආදායම් අහිමි වූ විට එන්නත්කරනය, වෛරස පාලනය, සෞඛ්‍යය අවශ්‍යතා සපුරාලීම ආදිය සඳහා වැයකිරීමට තරම් මුදලක් යහපාලන රජය ඉතිරි කර නැත.

මේ මොහොතේ වඩාත් තාර්කික හා විද්‍යාත්මක තීරණයකට ඔබතුමා එළඹෙන බව මම විශ්වාස කරමි. රට අඟුලු ලෑමට යෝජනා කරන කිසිවෙක් ජනතාව මුහුණ දෙන ආර්ථික ගැටලුවලට විසදුම් ඉදිරිපත් නොකරයි. අති බහුතරයක් වූ කුලී නිවැසියන් ප්‍රමාණයක් සිටින බවද අපට අමතක කළ නොහැක. යම් හෙයකින් රට වසා දැමීමට ඔබතුමා තීරණය කරන්නේ නම් මාසික වේතනයක් නොලබන ජනතාව රැක ගැනීම වෙනුවෙන් වැඩ පිළිවෙලක් අවශ්‍යයි. මෙම වැඩපිළිවෙල සකසන විට වෛරස ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා දැඩි කැපවීමකින් කටයුතු කරන සෞඛ්‍යය ආරක්ෂක ඇතුළු අනෙකුත් ක්ෂේත්‍ර හඳුනාගෙන ඔවුන්ට විශේෂයෙන් සැලකීමේ හැකියාව ඇත.

එවැනි ක්ෂේත්‍ර වල නිලධාරීන් අතහැර රට අඟුලු දා තිබෙන කාලසීමාවේදී මා ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැටුපෙන් 75% ක්, රාජ්‍ය හා පෞද්ගලික සේවකයින්ගේ සේවකයන්ගේ වැටුපෙන් 50%ක් සුළු කම්කරුවන්ගේ වැටුපෙන් 30%ක් පරිත්‍යාග කරමින් දායකත්වය දැක්වීමට යෝජනා කරමි. එම වැඩපිළිවෙළ සඳහා මගේ දායකත්වය ලබාදීමට මම සූදානම් බවද අවධාරණය කරමි.

ස්තූතිය, මෙයට – සේවයට කැපවූ ප්‍රසන්න රණතුංග (සංචාරක අමාත්‍ය)

Continue Reading

Trending

Copyright © 2016 Giraya News. Powered by Digital Hub