Connect with us
Advertise with Giraya

FEATURES

එස් එල් – 1 වැටුප ගුරුවරුන්ට ලබා නොදිය යුතු බව අනෙකුත් රාජ්‍ය සේවා කියයි, දුන්නොත් වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීමටත් සූදානම්

Published

on

ගුරු-විදුහල්පති වෘත්තිය සමිති කිහිපයක් විසින් වසර ගණනාවක සිට ඉල්ලා සිටින්නේ “සුබෝධනී වාර්තාව” අනුව තමන්ට ද එස් එල් – 1 වැටුප් පරිමාණය ලබා දෙන ලෙසයි. මෙම වැටුප් පරිමාණය හිමිව ඇත්තේ රජයේ විධායක මට්ටමේ සේවා සඳහා ය.

ඒ අනුව, ශ්‍රී ලංකා පරිපාලන සේවය, ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවය, ශ්‍රී ලංකා සැළසුම් සේවය, ශ්‍රී ලංකා ගණකාධිකාරි සේවය වැනි සේවා සඳහා එස් එල් – 1 වැටුප් කේතය (ආරම්භක වැටුප – රු. 47,615යි) අනුව වැටප් ගෙවනු ලබයි. මෙම සේවා සඳහා බඳවා ගනු ලබන්නේ උපාධිය සහ ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව මගින් පවත්වන අතිශය තරඟකාරී විභාගයකින් හා සම්මුඛ පරීක්ෂණයකින් අනතුරුවයි. මෙහි සේවා කිහිපයක් සඳහා පන්ති සාමාර්ථයක් තිබීම ද අවශ්‍ය වේ. මෙම සේවා සඳහා එක්වරක දී බඳවා ගනු ලබන්නේ ද 100-200 අතර ‌නිලධාරීන් ප්‍රමාණයකි.

මේ අනුව, ශ්‍රී ලංකා ගුරු අධ්‍යාපනඥ සේවය සඳහා ද මෙම අවශ්‍යතා අනුව බඳවා ගැනීම් සිදු කරන බැවින් ඔවුන් ද එස් එල් – 1 වැටුප් තලයේ පිහිටුවා තිබෙනවා.

Giraya News Alerts

ඒ අනුව, මෙරට ගුරු සේවය සඳහා වැටුප් තීරණය කර ඇත්තේ මෙසේය.

  1. ඩිප්ලෝමාධාරී ගුරු (ආරම්භක වැටුප) – රු. 27,740
  2. උපාධිධාරී ගුරු (ආරම්භක වැටුප) – රු. 33,300
  3. විදුහල්පති සේවයේ ආරම්භක වැටුප – රු. 35,280

ඒ අනුව, ගුරුවරුන් ඉල්ලා සිටින්නේ තමන් ද එස් එල් – 1 වැටුප් තලයේ පිහිටුවන ලෙසයි.

මෙහිදී ගුරුවරුන් බඳවා ගන්නා ක්‍රමවේදයන් රැසක් පවතින බව අවධානයට ගත යුතුය. ඒ අනුව,

  • අධ්‍යාපනවේදී උපාධීධාරීන් – 2 පන්තිය – ‌II ශ්‍රේණිය
  • උපාධිධාරීන් – 3 පන්තිය – ‌I (අ) ශ්‍රේණිය
  • ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාධාරීන් – 3 පන්තිය – ‌I (ආ) ශ්‍රේණිය
  • ඩිප්ලෝමාධාරීන් – 3 පන්තිය – ‌I (ඇ) ශ්‍රේණිය
  • උසස් පෙළින් සුදුසුකම් ලැබූවන් – 3 පන්තිය – ‌II ශ්‍රේණිය

ඔවුන්ට හිමි වැටුප මෙසේ ය,

GE – 1 – 2016

  • 3 පන්තිය – ‌II ශ්‍රේණිය – පියවර 1 – රු. 27,270
  • 3 පන්තිය – ‌I (ඇ) ශ්‍රේණිය – පියවර 7 – රු. 29,540
  • 3 පන්තිය – ‌I (ආ) ශ්‍රේණිය – පියවර 9 – රු. 30,300
  • 3 පන්තිය – ‌I (අ) ශ්‍රේණිය – පියවර 14 – රු. 32,200

GE – 2 – 2016

  • 2 පන්තිය – ‌II ශ්‍රේණිය – පියවර 1 – රු. 33,300
  • 2 පන්තිය – ‌I ශ්‍රේණිය – පියවර 11 – රු. 39,175
  • 1 පන්තිය – ‌පියවර 18 – රු. 44,950

ගුරු – විදුහල්පති සේවය, අධ්‍යාපන පරිපාලන සේවාවන් සංවෘත සේවාවක් බවට පත් කළ යුතු බවට ප්‍රතිපත්තිමය තීන්දුවක් ගැනීමට රජය සැරසෙන බව ඇතැම් අමාත්‍යවරුන්ගේ ප්‍රකාශ හරහා පැහැදිලි වේ. යම් හෙයකින් එවැනි තීරණයක් ගෙන ගුරුවරුන් එස් එල් – 1 වැටුප් පරිමාණයට සමාන වැටුප් පරිමාණයක පිහිටුවීමට රජය කටයුතු කළහොත් සමස්ත රාජ්‍ය සේවයේ දැවැන්ත වැටුප් අර්බුධයක් ඇති විය හැකි බව රාජ්‍ය නිලධාරීන් පෙන්වා දෙයි.

මේ වනවිට ශ්‍රී ලංකා පරිපාලන සේවය, ශ්‍රී ලංකා සැළසුම් සේවය, ශ්‍රී ලංකා ගණකාධිකාරි සේවය ඇතුළු සේවාවල නිලධාරීන් මෙම තීරණය සම්බන්ධයෙන් දැඩි අවධානයකින් පසුවන බව එම සේවා නියෝජනය කරන නිලධාරීන් මේ පිළිබඳ විමසීමේ දී සඳහන් කළා. ඔවුන් පවසන්නේ තමන් ද දැනට සිටින වැටුප් පරිමාණය සමග යම් යම් ගැටලුවලට මුහුණ දී ඇති බවයි. එවැනි තත්වයක් තුළ ගුරු වැටුප් තලය ද තම වැටුප් තලය හා සමාන කිරීමෙන් සමස්ත රාජ්‍ය සේවයේ ම වැටුප් බරපතල අර්බුධයකට ලක්වන බව ඔවුන් පෙන්වා දෙයි.

රජය එවැනි තීරණයක් ගතහොත් තමන් ද සුදුසු වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළැඹෙන බව එම සේවාවන් නියෝජනය කරන රාජ්‍ය නිලධාරීන් අවධාරණය කළා.

ගුරු-විදුහල්පති වැටුප පරිමාණය පිළිබඳ ඇති ගැටළුව තමන් පිළිගන්නා බවත් ඔවුන් දැනට සිටින වැටුප් පරිමාණයට වඩා ඉහළ වැටුප් පරිමාණයකට ඔසවා තැබිය යුතු වුවත් එය එස් එල් – 1 වැටුප් පරිමාණයට පහළ වැටුප් පරිමාණයක් විය යුතු බව රාජ්‍ය නිලධාරීන් පෙන්වා දෙයි.

FEATURES

කොතලාවල පනත ගැන සත්‍ය අනාවරණය මෙන්න

Published

on

By

ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාල පනත් කෙටුම්පත සම්බන්ධයෙන් විවිධ පාර්ශව සිදු කරන අසත්‍ය හා විකෘති සහගත ප්‍රකාශ සම්බන්ධයෙන් සත්‍ය හෙළිදරව් කිරීමක් සිදුකර තිබෙනවා. කොතලාවල පනත සම්බන්ධයෙන් ඇත්ත සහ නැත්ත යන තේමාව යටතේ මෙම කරුණු අනාවරණය සිදුකර ඇති අතර එය සුපරික්ෂාකාරීව හා දේශපාලනික පාට කණ්ණාඩිවලින් තොරව කියවීම අත්‍යවශ්‍යයි.

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය යනු අද ඊයේ ක්‍රියාත්මක වූ විශ්වවිද්‍යාලයක් නොවන අතර 1980 වර්ෂයේදී මෙම විශ්වවිද්‍යාලය සදහා භූමිය පරිත්‍යාග කර ඇත්තේ නීති ආචාර්ය, ජෙනරාල්, ශ්‍රීමත් ජොන් ලයනල් කොතලාවල මහතා විසිනි. අක්කර 48 කින් යුක්ත මෙම භූමි ප්‍රදේශය එතුමා ජීවත් වූ කඳවල වලව්ව පිහිටි කඳවලවත්ත යි. අදටත් එතුමා භාවිතා කළ සියලු බඩු මුට්ටු සහිතව මෙම වලව්ව සහ ඔහු භාවිතා කල 1 ශ්‍රී කැඩිලැක් වර්ගයේ මෝටර් රථය මෙම විශ්වවිද්‍යාල පරිශ්‍රය තුළ දැක ගැනීමට හැක.

එතුමා එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් ඉතාමත් ශ්‍රේෂ්ඨ දේශපාලන දිවියක් ගත කළ මෙරට තුන්වන අග්‍රාමාත්‍යවරයා ලෙස ද කටයුතු කළ අයෙකු විය. ඔහුගේ පරම අභිලාසය වී ඇත්තේ රටේ ආරක්ෂාව වෙනුවෙන් කැප වෙන ත්‍රිවිධ හමුදාව සහ රාජ්‍ය සේවයේ යෙදීමට අපේක්ෂා කරන තැනැත්තන්ට සහ වෙනත් සිවිල් තැනැත්තන් වෙනුවෙන් ඔවුන්ට ඔවුන්ගේ අධ්‍යාපන සුදුසුකම් නංවාලීම සඳහා විශ්වවිද්‍යාලයක් ඉදිකර දීමයි.

Giraya News Alerts

ඒ අනුව, එම දේපළ රජයට පවරා ගැනීමෙන් අනතුරුව නිසි ආකාරව පවත්වාගෙන යාමට පාර්ලිමේන්තු පනතක් ඉදිරිපත් කළ අතර 1981 අංක 68 දරණ ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත යනුවෙන් එම පනත සම්මත කෙරුණි. අද වන විට මෙම විශ්වවිද්‍යාලය ආරක්ෂක අමාත්‍යංශය යටතේ නියාමනය වන විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ පිළිගත් රාජ්‍ය විශ්වවිද්‍යාලයක් ලෙස පවත්වාගෙන යනු ලබයි. එසේම, මෙය පාර්ලිමේන්තු පනතක් මඟින් ස්ථාපිත වූ පෞද්ගලික විශ්වවිද්‍යාල ගණයට අයත් නොවන රජයේ විශ්වවිද්‍යාලය කි.

ශ්‍රී ලංකාව තුළ පවතින විශ්වවිද්‍යාල පද්ධතියට රුකුලක් වෙමින් උසස් අධ්‍යාපනය වැඩි දියුණු කිරීමට පාර්ලිමේන්තු පනතක් මඟින් ස්ථාපිත වූ එකම රාජ්‍ය විශ්වවිද්‍යාලය මෙය නොවන අතර බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය, සාගර විශ්වවිද්‍යාලය, වෘත්තීය තාක්ෂණික විශ්වවිද්‍යාලය සහ භික්ෂු විශ්වවිද්‍යාලය ඒ ඒ විෂය පථයන්ට අදාළ වන අමාත්‍යංශය හරහා නියාමනය වන පරිදි පාර්ලිමේන්තු පනත් මගින් ස්ථාපිත කොට රටට අවශ්‍ය ශ්‍රමය ලබා දීමට ශ්‍රේෂ්ඨ පුරවැසියන් බිහිකිරීමට කටයුතු කර ඇත.

කොතලාවල පනත් කෙටුම්පත මෙන්ම ඉහත සඳහන් විශ්වවිද්‍යාලවලට අදාළ පනත් වලින් ද පාලනයට නතුවන්නේ ඒ ඒ විශ්වවිද්‍යාල පමණක් වන අතර එවන් කිසිම පනතකින් වෙනත් අධ්‍යාපන ආයතනයක් හෝ විශ්වවිද්‍යාලයක් පාලනය කල නොහැක.

ඉහත රාජ්‍ය විශ්වවිද්‍යාල ආරම්භ වී ඇති පනත් වල සහ කොතලාවල පනත් කෙටුම්පත අතර ඇත්තේ සුළු වෙනස්කම් කිහිපයකි. එනම් සමස්ත අධ්‍යාපනයටම බලපෑමක් නැත.

කොතලාවල නව පනත් කෙටුම්පතට අනුව ඉතාමත් විනිවිදභාවයකින් යුක්තව බලතල සහ වගකීම් ලබා දී ඇත. කිසිදු විට මෙහි සදහන් බලතලයක් භාවිතා කර අයුතු ලෙස තනි තීරණ ගැනීමට නොහැකි වන පරිදි මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා වන පරිදි නීති විශාරදයන් විසින් සකස් කර ඇත. එනම් දේශපාලනික බලපෑම අවම වන පරිදි ජාතික ආරක්ෂාව තර කරමින් අධ්‍යාපන ව්‍යුහයට කිසිදු බලපෑමක් ඇති නොවන පරිදි සකස් වී ඇත.

අධ්‍යාපනය “මිලිටරීකරණය” වීමක් මෙහිදී සිදු නොවන අතර ඒ වෙනුවට මිලිටරිය හා සිවිල් සමාජය “අධ්‍යාපනික” වීමක් පමණක්ම සිදු වෙයි. ඊට හේතුව මෙම කෙටුම්පත මගින් 1981 සිට වූවාක් මෙන්ම ඉදිරියටත් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය පමණක් නියාමනය වීම හා ඒ තුලින් විශිෂ්ඨයන් බිහිකිරීමයි.

විශ්වවිද්‍යාලයේ ව්‍යුහය

ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව යන රටවල ආරක්ෂක විශ්වවිද්‍යාල ව්‍යුහය ආභාසය කොට ගෙන මෙහි ව්‍යුහය සකස් කර ඇත. දශක 4 ක් පුරාවට ඉතාමත් විනය ගරුක උපාධිධාරී විශිෂ්ඨතයින් 5000 කට වැඩි පිරිසක් බිහිකිරීමට මෙම විශ්වවිද්‍යාලය මගින් බිහි වී ඇත. 1988 දී අංක 27 දරන සංශෝධිත පනත මගින් උපාධි පිරිනැමීම සදහා බලතල එවකට පැවති ආණ්ඩුව මගින් ලබා දී ඇත. (නව කෙටුම්පතේ 5(ඒ) වගන්තිය) ඒ අනුව 1988 දී විශ්වවිද්‍යාලයක් බවට පරිවර්තනය වී ඇති නමුත් 2007 මාර්තු 18 දින අංක 50 දරණ සංශෝධිත පනත මගින් කොතලාවල ආරක්ෂක පුහුණු ආයතනය (Kotelawala Defence Academy) යන නම වෙනස් කර ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය (General Sir John Defence University) ලෙස නම් කර ඇත.

ශ්‍රී ලංකාවේ 30 වසරක් පුරාවට පැවති යුද්ධය අවසන් කිරීමෙන් පසුව නැවත යුද්ධයක ගිනි සිළු නැගීමට ඉඩක් නොතියා ජාතික ආරක්ෂාව තර කිරීමට ගත් පියවරක් ලෙස මෙම විශ්වවිද්‍යාලය පුළුල් කිරීමට කටයුතු කර ඇති අතර 2009 දී පළමු වරට වෛද්‍ය පීඨය ස්ථාපිත කර ඇත. 2012 වර්ෂය වන තෙක් කැඩෙට් නිලධාරීන් පමණක් බඳවා ගැනීම සිදු කර ඇති අතර 2012 වර්ෂයේ දී සිවිල්-මිලිටරි සහයෝගීතාවය නැංවීමේ සහ රටේ අධ්‍යාපනයට ඇති අවස්ථා පුළුල් කිරීමේ මූලික අරමුණින් සිවිල් ශිෂ්‍යයන් ද බදවා ගැනීමට කටයුතු කර ඇත.

ඊට ප්‍රධානතම හේතු වන්නේ,

01) ශ්‍රී ලංකාව තුළ විශ්වවිද්‍යාල ප්‍රවේශය ලබා ගැනීමට සුදුසුකම් සපුරාලන ළමුන් ප්‍රමාණය ඉතාමත් අධික වූව ද දැනට පවතින විශ්වවිද්‍යාල පද්ධතියට ඇතුළත් කර ගත හැකි සිසුන් ගණන සීමා සහිත වීමත් ඒ තුළින් බොහෝ තරුණයන් රැකියා විරහිත වීමත්,

02) රටේ පවතින ආර්ථික තත්වය හමුවේ වැඩි වශයෙන් රටට අවශ්‍ය වන ශ්‍රම බලකාය නිර්මාණය කිරීමටත්,

03) හමුදාව හා සිවිල් සමාජය අතර පවතින බැඳීම වර්ධනය කිරීමටත්,

04) රටේ ජාතික ප්‍රතිපත්ති සහ ජාතික ආරක්ෂාව තර කිරීමටත්,

05) ශ්‍රී ලංකාවේ සිසුන් එතෙර අධ්‍යාපනය සඳහා යොමුවීමේ දී රටෙන් පිටවෙන මුදල් ප්‍රමාණය අවම කිරීමටත් හා විදේශීය සිසුන්ට ඉහළ ගුණාත්මකභාවයකින් යුත් උපාධි පාඨමාලා හැදෑරීම සඳහා අවස්ථාව ලබා දෙමින් විදේශ විනිමය රට තුලට ගෙන ඒමටත්,

06) විවිධ ක්ෂේත්‍රයන් ඔස්සේ දක්ශතා ඇති හා නව නිර්මාණ බිහිකිරීමට හැකියාව ඇති තරුණ පරම්පරාවට තෝතැන්නක් කර දී රටට විනය ගරුක උගත් පුරවැසියන් බිහිකිරීමේ පරම අභිලාෂයෙන් සමග ය.

ඒ අනුව, මේ වන විට සිවිල් උපාධිධාරීන් 1000 කට වැඩි පිරිසක් බිහිකිරීමට මෙම විශ්වවිද්‍යාලය සමත් වී ඇත. අද වන විට පීඨ 9 කින් සහ ජාත්‍යන්තර සෞඛ්‍ය ප්‍රමිතියන්ට අනුකූලව ඉදිකර ඇති කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය නව තාක්ෂණය අතින් ඉදිරියෙන්ම පවතින සහ පවතින වසංගත තත්වය හමුවේ විශාල මෙහෙවරක් ඉටු කරමින් සිටින විශ්වවිද්‍යාල රෝහලකින් (KDU University Hospital) යුක්ත පරිපූර්ණ විශ්වවිද්‍යාලයක් බවට පත් කර ඇත. තවද ඉදිරියේ දී තාක්ෂණික පීඨය සහ අපරාධ යුක්ති පීඨය ස්ථාපිත කිරීමට නියමිතව ඇත. එමෙන්ම රාජ්‍ය ආරක්ෂාව හා අධ්‍යාපනික පරීක්ෂණ සිදු කිරීම අතින් මෙන්ම නව නිර්මාණය බිහිකිරීම අතින්ද ඉහළ ස්ථානයක් හිමිවී ඇත.

තව ද, මේ වන විට 1981 පනත යටතේ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට, ශ්‍රී ලංකා මිලිටරි පුහුණු ආයතනය (SL Military Academy) , ශ්‍රී ලංකා නාවික පුහුණු ආයතනය (SL Naval Academy) , ශ්‍රී ලංකා ගුවන් හමුදා පුහුණු ආයතනය (SL Air force Academy), ජාතික ආරක්ෂක විදුහල (National Defence College) හා හමුදා ප්‍රවර්ධන පාසල ( Army School of Logistics) වැනි අධ්‍යාපනික ආයතන අනුබද්ධිත කර උපාධි පිරිනැමීම සිදු කරනු ලබයි. (නව කෙටුම්පතේ 5 වන වගන්තිය). මේ යටතේ කිසිඳු අයුරකින් වෙනත් පෞද්ගලික විශ්වවිද්‍යාල පිහිටුවීමේ හෝ පිළිගැනීමේ බලයක් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට හිමි වී නැත.

(2008 අංක 31 දරන වෘත්තිය තාක්ෂණ විශ්වවිද්‍යාල පනතේ 5 (ඊ) වගන්තියෙන් හා 2014 අංක 31 දරන ශ්‍රී ලංකා සාගර විශ්වවිද්‍යාල පනතේ 5 (ච) වගන්තිය ප්‍රකාරව ඉහත සඳහන් බලතල ඒ අයුරින්ම ලබා දී ඇත.)

සාගර විශ්වවිද්‍යාලය, භික්ෂු විශ්වවිද්‍යාලය හා තාක්ෂණික විශ්වවිද්‍යාලය සහ අනෙකුත් රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතියේ මෙන්ම (1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 32 – 39 වගන්ති ප්‍රකාරව ස්ථාපිත කර ඇති නිලතල වලට බොහෝ සමානකම් ඇති) විශ්වවිද්‍යාලය පවත්වාගෙන යාම සදහා පහත නිලධරයන්ට අදාළ නිල ධූර 1981 අංක 68 දරන පනත ප්‍රකාරව දැනටමත් පවතින අතර නව පනත් කෙටුම්පතේ 9 වන වගන්තිය යටතේ ද තවදුරටත් ප්‍රතිස්ථාපනය කර ඇත.

  1. කුලපතිවරයා
  2. උපකුලපතිවරයා
  3. මණ්ඩපවල ප්‍රධානීන්
  4. නියෝජ්‍ය උපකුලපතිවරයා(ආරක්ෂක සහ පරිපාලන)
  5. නියෝජ්‍ය උපකුලපතිවරයා (ශාස්ත්‍රීය)
  6. සෑම පීඨයකම පීඨාධිපතිවරු
  7. මූලස්ථාන බලඇණියේ සේනාංකයේ අණදෙන නිලධරයා
  8. සහායක නිලධරයා
  9. ලේඛකාධිකාරීවරයා
  10. පුස්ථකාලාධිපතිවරයා
  11. මූල්‍යාධිකාරීවරයා

මෙහිදී, අනෙකුත් රාජ්‍ය විශ්වවිද්‍යාලවල මෙන්ම කුලපතිවරයා සහ උපකුලපතිවරයා ජනාධිපතිවරයා විසින් පත් කරනු ලබන අතර උපකුලපතිවරයා වශයෙන් ත්‍රිවිධ හමුදාවේ ජ්‍යෙෂ්ට නිලධාරිවරයෙකු සේවා මාරු ක්‍රමයට පත් කරනු ලැබිය යුතුය. එයට ප්‍රධානම හේතුව වන්නේ මෙය ආරක්ෂක විශ්වවිද්‍යාලයක් වන බැවින් සාමාන්‍ය පුද්ගලයෙකුට මෙම නිලය දැරීමට අවශ්‍ය හමුදාමය පාරිසරික දැනුම සහ අත්දැකීම් නොමැතිකම පමණක්ම වේ.

තවද නව කෙටුම්පතේ 10 වන වගන්තිය ප්‍රකාරව උපකුලපතිවරයා සතු බලතල සහ වගකීම් අනෙකුත් විශ්වවිද්‍යාලවල උපකුලපතිවරුන් සතු බලතලවලට බෙහෙවින් සමාන වේ. ( 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 34 වගන්තිය ප්‍රකාරව අනෙකුත් රාජ්‍ය විශ්වවිද්‍යාල වල උපකුලපතිවරුන් සතු බලතල සහ වගකීම්)

තවද 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 40 වගන්තිය ප්‍රකාරව විශ්වවිද්‍යාලයක අධිකාරිත්වයන් වන කවුන්සලය, සෙනට් සභාව, පීඨ මණ්ඩලය, පාලක මණ්ඩලය හා අනෙකුත් ව්‍යුහයන් මඟින් පාලනයක් සිදුවේ. එසේම අනෙකුත් රාජ්‍ය විශ්වවිද්‍යාල වල මෙන්ම කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ ද අධිකාරිත්වයන් හෙබවීම සහ පාලන කටයුතු විනිවිදභාවයකින් යුක්තව සිදු කිරීම උදෙසා නව කෙටුම්පතට අනුව 18 වන වගන්තිය ප්‍රකාරව විශ්වවිද්‍යාල පාලක මණ්ඩලයක් ද, 22 වගන්තිය ප්‍රකාරව කවුන්සලයක් ද, 23 වගන්තිය ප්‍රකාරව සෙනට් සභාවක් හා 24 වගන්තිය ප්‍රකාරව පීඨ මණ්ඩලයකින් ද සමන්විත වේ.

එක් එක් ව්‍යුහයන්ට අදාළ බලතල හා වගකීම් 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනත මඟින් හා ඉහත සඳහන් සාගර විශ්වවිද්‍යාල, භික්ෂු විශ්වවිද්‍යාල සහ තාක්ෂණික විශ්වවිද්‍යාල පනත් මගින් එම ව්‍යුහයන්ට ලබා දී ඇති බලතල හා වගකීම් වලට බෙහෙවින් සමාන මෙන්ම අනුකූල වන පරිදී ඉහත සඳහන් වගන්ති යටතේ නව කෙටුම්පතේ අන්තර්ගත කර ඇත.

සිසුන් බදවාගැනීම සහ ඉගැන්වීමේ ක්‍රියාවලිය

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට ඇතුළත් වීම සදහා ඕනෑම සිසුවෙකු අ.පො.ස. උ.පෙළ සමත් වී විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලැබිය යුතු ය. එපමණක් නොව ඔහු හෝ ඇය බාහිර ක්‍රියාකාරකම් වල නිරත වී ඇති අයෙකු වීමද ඉතා ඉහළින් සැලකීමකට භාජනය වේ.

2008 අංක 31 දරන වෘත්තිය තාක්ෂණ විශ්වවිද්‍යාල පනතේ 2 වන වගන්තියේ හා 2014 අංක 31 දරණ ශ්‍රී ලංකා සාගර විශ්වවිද්‍යාල පනතේ 2 වන වගන්තියේ සඳහන් කරුණ ම කිසිදු වෙනසකින් තොරව නව කොතලාවල කෙටුම්පතේ 2 වන වගන්තිය ප්‍රකාරව ද “1978 අංක 16 දරණ විශ්වවිද්‍යාල පනතේ කුමක් සදහන් වුවද එය නොතකා…” යන ලෙස සඳහන් වීමට ප්‍රධානම හේතුව වන්නේ, කැඩේ නිළධාරින් සහ සිවිල් ශිෂ්‍යයන් (Day scholars) බඳවා ගැනීමේ දී 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතින් තරමක් ඉවත් වී Z-Score අගය පමණක් සැලකිල්ලට භාජනය වනවා වෙනුවට ඊට අමතරව සම්මුඛ පරීක්ෂණ 3 කට සහ විභාග 4 කට (ඉංග්‍රීසි භාෂා ප්‍රශ්නපත්‍රයක්, අයදුම් කළ අදාළ පීඨය ආශ්‍රිත ප්‍රශ්න පත්‍රයක්, මනෝවිද්‍යාත්මක ප්‍රශ්නපත්‍රයක් සහ සාමාන්‍ය දැනීම ප්‍රශ්නපත්‍රයක්) සහභාගී වීමෙන් අනතුරුව මේවා අතරින් ඉහළින්ම ලකුණු ලබා ගන්නා අයදුම්කරුවන්ගෙන් ඉතාමත් සීමිත ප්‍රමාණයක් විශ්වවිද්‍යාලය සදහා බඳවා ගැනීමක් සිදු කරයි. එනම්, Z-score අගය අනුව දිස්ත්‍රික්කයේ එක දෙක වූ සිසුවෙකු පවා ඉහත ක්‍රියාවලියේ දී ලකුණු ප්‍රමාණය අඩු වූවොත් ඉවත් වී යාමට ඉඩ ඇත. කෙසේ වෙතත් විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලැබීම සඳහා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමෙන් පනවා ඇති අවම සුදුසුකම් ලබා තිබීම අනිවාර්ය වේ.

අනෙකුත් කිසිදු විශ්වවිද්‍යාලයක මෙවැනි වූ ප්‍රමිතියකින් යුක්ත ක්‍රියාවලියක් යටතේ බදවා ගැනීම් සිදු නොකරයි. ඒ අනුව පෙනී යන්නේ ශාරීරික මෙන්ම මානසිකව ද නීරෝගී, අධ්‍යාපන සුදුසුකම් අතින් ඉහළ මට්ටමක් ඇති විශේෂ දක්ෂතා ඇති විශ්වවිද්‍යාල ප්‍රවේශය හිමි සියල්ල සඳහා තම උසස් අධ්‍යාපනය ඉතාමත් විනය ගරුක පරිසරයක් තුළ නිශ්චිත වූ කාලයක් තුළ ලබා ගැනීමට අවකාශය සලසා දී ඇති බවකි.

නිදහස් අධ්‍යාපනය යන සංකල්පය තුළ ද ළමයෙකු කුඩා කල සිටම රජයට යම් මුදලක් ගෙවනු ලබයි. උදාහරණ ලෙස පාසලක පහසුකම් හා සේවා ගාස්තු හා විශ්වවිද්‍යාලයක නේවාසිකාගාර සඳහා ගෙවන ගාස්තු, පහසුකම් හා සේවා ගාස්තු, ඇතුළත් වීමේ ගාස්තු, පුස්තකාල ගාස්තු, විභාග ගාස්තු, උපාධි ප්‍රදාන උත්සවය සඳහා ගෙවන ගාස්තු දැක්විය හැක.

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය තුළ කැඩෙට් ශිෂ්‍යයන්ට වැටුපක් ගෙවන අතර ආහාර පාන, ඇඳුම් සේදීම සහ අනෙකුත් පහසුකම් සඳහා ද ඔවුන්ගේ වැටුපෙන් යම් සාධාරණ මුදලක් අයකර ගනු ලබයි. තවද සිවිල් සිසුන් සදහා විධිමත් ප්‍රමිතියකින් යුක්ත උසස් අධ්‍යාපයක් ලබා දීම වෙනුවෙන් යම් සාධාරණ මුදල් අය කිරීමක් (වෛද්‍ය පීඨය සදහා ශ්‍රී ලංකා සිසුන්ට වලංගු නොවේ) සිදු කරන අතර එය උපාධිය සදහා වැය වන මුදලක්ම නොවන අතර රජය විසින් සපයා ඇති විශ්වවිද්‍යාලයේ පවතින පහසුකම් හා අනෙකුත් වියදම් ද සැලකිල්ලට ගෙන නියම කර ඇත.

ඒ අනුව, මෙම කෙටුම්පත හරහා ද නිදහස් අධ්‍යාපන ව්‍යුහය විකෘති වීමක් හෝ මිලිටරීකරණයක් සිදු වන්නේ නැත. මුදල් තිබූ පමණින් විශ්වවිද්‍යාලයට ඇතුළත් වීමට අවකාශයක් නොමැති අතර ඇතුළත් වීමට වරම් ලැබූ පමණින්ද උපාධිය ලබා ගැනීමට නොහැක. ඒ සදහා කැපවී පාඩම් කර විභාග හා අනෙකුත් අධ්‍යන කාර්‍යයන් සමත් විය යුතු වේ.

මෙසේ ඇතුළත් කරගන්නා කැඩට් ශිෂ්‍යයන් සහ සිවිල් ශිෂ්‍යයන් මෙන්ම රාජ්‍ය නිලධාරීන් සියල්ල එකට එක්ව ඒ ඒ පීඨයන්ට අදාළ එකම දේශන ශාලාවක් තුල ඉගෙනගැනීම් කටයුතුවල නිරත වේ. මෙමගින් හමුදාව සහ සිවිල් අයවලුන් අතර මනා සංහිදියාවක් ඇති වේ. බොහෝ රටවල මෙම මූලධර්ය භාවිතා කර මොවුන් අතර පවතින සංහිඳියාව වැඩි දියුණු කිරීමට පියවර ගෙන ඇතිවීම තවත් විශේෂ කරුණකි. දේශන පවත්වන අතරතුර ශිෂ්‍යයින්ට ප්‍රශ්න ඇසීම සහ තර්ක කිරීම සඳහා ප්‍රමුඛ අවස්ථාවක් ලබා දීම විශ්වවිද්‍යාලයේ ප්‍රමුඛ අපේක්ෂාවකි. ඒ සඳහා ඔවුන් උනන්දු කිරීම ආචාර්යවරුන්ගේ වගකීමක් ලෙස නම් කොට ඇත.

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ විශේෂත්වය වන්නේ අදාළ උපාධියේ කාල සීමාව අවසානයේ ඉතා ඉක්මනින්ම තම උපාධිය ලබා ගැනීමට හැකි වීමත්, අනෙකුත් රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය තුළ පවතින නවක වදයක් නොමැතිවීමත්, දේශපාලනයට නතු වී උද්ඝෝෂණ අරගල සදහා තරුණයන්ගේ වටිනා කාලය වැය නොවීමත්, “ලොකු මිනිහෙක් නොවේ පුතේ හොද මිනිහෙක් වෙයන්” යන ප්‍රසිද්ධ කියමනට අරුතක් දෙමින් ඉතා ඉක්මනින් ක්‍රමානුකූලව රටට වැඩදායක විනය ගරුක පුද්ගලයෙකු ලෙස සමාජයට පැමිණීමටත් ඇති හැකියාවයි.‍

විභාග පැවැත්වීම

විභාග පැවැත්වීමේ හා ඇගයීමේ ක්‍රමවේදය අතින් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය සිටින්නේ මෙරට විශ්වවිද්‍යාල පද්ධතියේ ඉහළම ස්ථානයේ යි. ඉහළ තාක්ෂණය, පුහුණුව ලත් නිරීක්ෂකයින් හා දැඩි නීතිරීති මාලාවක් මගින් එම කටයුතු සිදුවෙයි.

මෙහිදී ඇති සුවිශේෂී ලක්ෂණයක් වන්නේ උපාධි අපේක්ෂකයින් විසින් විභාගවලදී පිළිතුරු සපයන පිළිතුරු පත්‍ර සඳහා ලකුණු ලබා දීමෙන් අනතුරුව යළිත් ඔවුන් වෙත එය පරික්ෂා කිරීමට අවස්ථාව ලබා දීමයි. මෙය අනෙකුත් රාජ්‍ය විශ්වවිද්‍යාලවල ක්‍රියාත්මක නොවන අතර එමගින් විභාග සඳහා ලකුණු ලබා දීමේ පදනමවත්, තමන්ට නිවැරදි ලකුණු ප්‍රමාණය හිමී ඇත්ද යන්නවත් දැන ගැනීමට අවස්ථාවක් නැත. නමුත් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය අනුගමනය කරන මෙම ක්‍රමවේදය හේතුවෙන් කිසිවෙකුට අනවශ්‍ය සාධක මත ලකුණු ලබා දීම හෝ නොදීම සිදු නොවන අතර අනෙක් අය ලබා ඇති ලකුණු සමග සන්සන්දනය කිරීමට ද අවස්ථාව හිමිවේ. එසේම විභාග ශාලා තුල සීසිටීවී මගින් ද නිරීක්ෂකවරුන් මගින් ද සිදුකරන නිරීක්ෂණ හේතුවෙන් විභාග සියල්ල විනිවිදභාවයෙන් හා ඉහළ ගුණාත්මකභාවයකින් සිදුවන බව තහවුරු කොට ඇත.

මූල්‍යමය කටයුතු

මෙහිදී, මූල්‍යමය කටයුතු සම්බන්ධව නව කෙටුම්පතේ 32 – 42 වගන්ති ප්‍රකාරව ප්‍රතිපාදන සලසා ඇත. මෙම වගන්ති සමග 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 98 – 111 වගන්‍ති සසදා බැලූ විට කිසිදු වෙනසක් නොමැති අතර ඇති එකම වෙනස වන්නේ කොමිසමේ යම් යම් ක්‍රියාකාරිත්වයන් පාලක මණ්ඩලය තුළින් පිළිබිඹු වීමයි. නමුත් පාලක මණ්ඩලයේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ නියෝජනයක් ඇති බැවින් පාලක මණ්ඩලය සතු බලතල සියල්ල කොමිසමේ පූර්ණ අනුදැනුම ඇතුව ක්‍රියාත්මක වීම මගින් කිසිදු ගැටලුවක් මතු නොවේ.

ඒ අනුව, පාලක මණ්ඩලය විසින් අය වැය ඇස්තමේන්තු සහ වාර්ෂික මුදල් විසර්ජන සලකා බලා යෝජනා සම්මතයක් මඟින් සම්මත කර යුතු අතර පසුව විශ්වවිද්‍යාල ගිණුම් සමඟ ඒවා අමාත්‍යවරයාට යොමු කළ යුතු වේ. අමාත්‍යවරයා විසින් නැවත පරීක්ෂා කර අවශ්‍ය යයි සලකනු ලබන අවස්ථාවක දී සංශෝධන කළ හැක. තවද 35 වගන්තිය ප්‍රකාරව මූල්‍යාධිකාරීවරයා සතු වගකීම් පෙන්වා දී ඇත.

මෙහි වැදගත්ම වගන්තිය වන්නේ 40 වන වගන්තිය ප්‍රකාරව අනෙකුත් රාජ්‍ය විශ්වවිද්‍යාල වල මෙන්ම රාජ්‍ය සංස්ථාවල ගිණුම් විගණනය කිරීම සම්බන්ධයෙන් අදාළ වන 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154 වන ව්‍යවස්ථාවේ විධිවිධාන විශ්වවිද්‍යාල ගිණුම් විගණනය කිරීම සදහා අදාළ විය යුතු බවයි.

( 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 107 (5) උපවගන්තියේ, 2008 අංක 31 දරන වෘත්තිය තාක්ෂණ විශ්වවිද්‍යාල පනතේ 47 වන වගන්තියේ හා 2014 අංක 31 දරන ශ්‍රී ලංකා සාගර විශ්වවිද්‍යාල පනතේ 51 වගන්තියේ ලෙසම ඇත.)

ඒ අනුව, කෙටුම්පතේ 42 වන වගන්තිය ප්‍රකාරව විගණකාධිපතිවරයාට විශ්වවිද්‍යාල ගිණුම් විගණනය කිරීමට බලය පවරා ඇත. ඒ අනුව, ඔහුගේ වාර්තාව අමාත්‍යවරයාට යොමු කළ පසු එය පාර්ලිමේන්තුවේ සභාගත කිරීම අමාත්‍යවරයාගේ වගකීම වේ.

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ අනුදැනුම

මෙහිදී, නව කෙටුම්පතේ 18(ඌ) , 22 (ආ) iv, වගන්ති ප්‍රකාරව ඇති පාලක මණ්ඩලය හා කවුන්සලය යන අධිකාරි ව්‍යුහයන් තුළ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයා විසින් පත් කරනු ලබන තැනැත්තන් ඇතුළත් වේ. ඒ අනුව, මෙම ව්‍යුහයන් මඟින් ගනු ලබන තීන්දු තීරණ සෑම විටම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභාවේ පූර්ණ අනුදැනුම යටතේ ඉතාමත් විනිවිදභාවයකින් යුක්තව ක්‍රියාත්මක වේ.

තවද, පාලක මණ්ඩලයට අදාළ බලතල සම්බන්ධව කෙටුම්පතේ 19 (ආ) උපවගන්තියේ ඉතාමත් පැහැදිලිව දක්වා ඇත්තේ, උපාධි, ඩිප්ලෝමා, සහතික පත්‍ර හා වෙනත් ශාස්ත්‍රීය විශිෂ්ටතා ප්‍රදානය කිරීම පිණිස විශ්වවිද්‍යාල කොමිෂන් සභාව විසින් නියමාවලි මඟින් තීරණය කරනු ලැබිය හැකි යම් අධ්‍යයන තත්ත්වයන්ට වඩා අඩු නොවන අධ්‍යයන තත්ත්වයන්ට අනුකූලව අධ්‍යයන පාඨමාලා හා පුහුණු පාඨමාලා අනුමත කළ යුතු බවයි.

ඒ අනුව, කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභාවේ ප්‍රමිතින්ට අනුකූලව හා පූර්ණ අනුදැනුම යටතේ මනා ලෙස නියාමනය වීමට අදාල ප්‍රතිපාදන නව කෙටුම්පත හරහා ද ලබා දී ඇත.

අමාත්‍යවරයා සතු බලතල

මෙහිදී අමාත්‍යවරයාගේ බලතල ගත් විට අනෙකුත් බොහෝ පනත් වල මෙන්ම ඒ ඒ පනත්වල විෂය පථය අනුව විෂය භාර අමාත්‍යවරයා සතුව ඇති බලතල හා වගකීම් එලෙසම ආරක්ෂක අමාත්‍යවරයාට පවරා ඇත. කොතලාවල කෙටුම්පතේ 6 වන වගන්තිය ප්‍රකාරව ලබා දී ඇති බලතල සහ වගකීම් මෙසේ ය,

1. අමාත්‍යවරයා මේ පනතේ සාමාන්‍ය විධාන සහ පරිපාලනය සම්බන්ධයෙන් වගකිව යුතුය. (මේ ආකාරයටම 1978 අංක 16 දරණ විශ්වවිද්‍යාල පනතේ 19 වන වගන්තිය, තාක්ෂණික විශ්වවිද්‍යාල පනතේ 6 වන වගන්තිය හා සාගර විශ්වවිද්‍යාල පනතේ 6 වන වගන්තිය යටතේ අමාත්‍යවරයාට වගකීම් පවරා ඇත.)

2. අමාත්‍යවරයා විසින් කලින් කලට විශ්වවිද්‍යාල පාලක මණ්ඩලය වෙත ලිඛිත විධාන නිකුත් කල හැක. (මේ ආකාරයටම 1978 අංක 16 දරණ විශ්වවිද්‍යාල පනතේ 20(අ) වන වගන්තිය, සාගර විශ්වවිද්‍යාල පනතේ 6 (2) 1 උපවගන්තිය හා තාක්ෂණික විශ්වවිද්‍යාල පනතේ 6 (2) 1 උපවගන්තිය යටතේ අමාත්‍යවරයාට පිළිවෙලින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමට හා පාලක මණ්ඩල වලට ලිඛිත නියෝග ලබා දීමට බලය පවරා ඇත.)

ඉහත දෙවන කරුණ ගත් විට විශ්වවිද්‍යාල පනතේ සහ අනෙකුත් බොහෝ පනත්වල මෙන්ම අමාත්‍යවරයාට ලිඛිත නියෝග ලබා දීමේ දී එය නිකුත් කිරීමේ දින සිට මාස තුනක් ඇතුළත පාර්ලිමේන්තුවේ සභාගත කළ යුතුය. තව ද කෙටුම්පතේ 50 (3) උපවගන්තිය ප්‍රකාරව ද පෙන්වා දී ඇත්තේ අමාත්‍යවරයා විසින් සාදන ලද සෑම නියෝගයක්ම ගැසට් පත්‍රයක පළ කිරීමෙන් පසු හැකි ඉක්මනින් අනුමතය සදහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු බවත් එසේ අනුමත නොකරන ලද යම් නියෝගයක් එදින පටන් පරිච්ඡින්න හෙවත් බැහැර කරනු ලැබූ ලෙස සැලකිය යුතු බවයි. ඒ අනුව ඉතා පැහැදිලිව මෙම කොතලාවල කෙටුම්පත යටතේ ද මේ ලෙස අමාත්‍යවරයාට නියෝග සෑදීමේ බලය අසීමිතව භාවිතා කිරීමට ඉඩක් සලසා නොමැත.

කොතලාවල කෙටුම්පතේ 7 වන වගන්තිය ප්‍රකාරව, 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ, සාගර විශ්වවිද්‍යාල පනතේ, තාක්ෂණික විශ්වවිද්‍යාල පනතේ, භික්ෂු විශ්වවිද්‍යාල පනතේ සහ අනෙකුත් බොහෝ පනත්වල මෙන්ම මෙහිදී විශ්වවිද්‍යාලය තුළ පවතින යම් තත්වයක් ජාතික ආරක්ෂාවට අනතුරුදායක වීමේ නැඹුරුවක් පවතින බවට හෝ ජාතික ප්‍රතිපත්තියට අහිතකර හෝ අගතිදායක බව නැතහොත් එම තත්ත්වය මඟින් විශ්වවිද්‍යාලයේ නිසි ක්‍රියාකාරිත්වය බිඳ වැටීමේ නැඹුරුවක් ඇති බවට අමාත්‍යවරයාගේ මතය වන අවස්ථාවක, එම තත්ත්වය පාලනය කිරීම සඳහා අවශ්‍ය යැයි සලකන සියලු පියවර ගන්නා ලෙස පාලක මණ්ඩලයට විධාන කරනු ලැබිය හැක. (මෙම බලතලය මේ ආකාරයටම විශ්වවිද්‍යාල පනතේ 20 (3) උපවගන්තිය, සාගර විශ්වවිද්‍යාල හා තාක්ෂණික විශ්වවිද්‍යාල පනත්වල 7 වන වගන්තීන් යටතේ අමාත්‍යවරයාට පවරා ඇත.)

පාලක මණ්ඩලය

නව කෙටුම්පතේ 18වන වගන්තිය ප්‍රකාරව පහත සදහන් සාමාජිකයන් එහි ඇතුලත් කර ඇත.

  1. ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා
  2. ආරක්ෂක අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරයා
  3. ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා
  4. ශ්‍රී ලංකා යුද හමුදාවේ හමුදාපතිවරයා
  5. ශ්‍රී ලංකා නාවික හමුදාවේ හමුදාපතිවරයා
  6. ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ හමුදාපතිවරයා
  7. උපකුලපතිවරයා
  8. භාණ්ඩාගායේ ලේකම්වරයා විසින් නම් කරනු ලබන භාණ්ඩාගාරයේ අනුයෝජිතයෙකු
  9. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභාවේ නාමිකයෙකු
  10. විශ්වවිද්‍යාලයේ ලේඛකාධිකාරිවරයා මණ්ඩලයේ ලේකම්වරයා වෙයි

මණ්ඩලයේ සභාපතිවරයා වන්නේ ආරක්ෂක ලේකම්වරයා වේ. විශ්වවිද්‍යාලයේ ලේඛකාධිකාරීවරයා මණ්ඩලයේ ලේකම්වරයා ලෙස කටයුතු කරයි. ඒ අනුව, මෙම මණ්ඩලය ද සකස් වී ඇත්තේ සිවිල් හා හමුදා යන කාණ්ඩයන් දෙකම නියෝජනය වන පරිදි ඉතාමත් සාධාරණ ලෙසය. මෙමඟින් සිවිල් සමාජය හා හමුදාව අතර පවතින සංහිදියාව තවත් වර්ධනය වීමක් හා දෙපාර්ශවයේම අදහස් මුසු වී ප්‍රතිපෝෂණය වීමක් සිදුවේ. මෙහි විශේෂත්වය වන්නේ මොවුන් සියලු දෙනා නිලබලයෙන් මේ සඳහා පත්වීමයි. කිසිඳු ආකාරයක දේශපාලනික පත් කිරීමක් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය මණ්ඩලය වෙත සිදු කිරීම සඳහා අවස්ථාවක් නොපැවතීම විශේෂ තත්වයකි.

තවද කෙටුම්පත 19 (3) වගන්තිය ප්‍රකාරව අනෙකුත් රාජ්‍ය විශ්වවිද්‍යාලවල මෙන්ම පාලක මණ්ඩලය විසින් පත් කරනු ලබන කමිටු 11ක් මගින් විශ්වවිද්‍යාලය තවදුරටත් නියාමනය කිරීමක් සිදුවේ.

තවදුරටත් කෙටුම්පතේ 43 වන වගන්තිය ප්‍රකාරව ඉහත සඳහන් අධිකාරියක සාමාජිකයකු වීමට අදාළ නුසුදුසුකම් සඳහන් කර එමගින් ද ජාතික ආරක්ෂාව තහවුරු කර ඇත.

එසේම, යුදමය තත්වයක් නැවත ඇති වේ යැයි යන සාධාරණ සැකය සැලකිල්ලට ගෙන කෙටුම්පතේ 47 වන වගන්තිය ප්‍රකාරව විශ්වවිද්‍යාලයේ යම් නිලධාරයෙකු, කාර්‍ය මණඩලයේ සාමාජිකයෙකු හෝ ශිෂ්‍යයෙකු හැර යම් තැනැත්තකු විශ්වවිද්‍යාලය තුළට ඇතුලත් වූ විට හිතකර නොවන පුද්ගලයෙක් ලෙස ඒත්තු ගියොතින් ඔහුට කරුණු ඉදිරිපත් කිරීමට අවස්ථාවක් පළමුව ලබා දී සෑහීමකට පත් විය නොහැකි නම් උපකුලපතිවරයා හෝ ඔහු විසින් ලිඛිතව බලය පැවරූ නිලධාරිවරයෙකුට එම තැනැත්තාට ඇතුළුවීම හෝ රැඳී සිටීම තහනම් කල හැකිය. එමඟින්ද, අනෙකුත් රාජ්‍ය විශ්වවිද්‍යාලවල මෙන්ම ජාතික ආරක්ෂාව තර කිරීමට පියවර ලබා ගෙන ඇත.

අවසාන වශයෙන් ඉහත කරුණු සියල්ල සලකා බැලීමේදී පෙනී යන්නේ මෙම නව කොතලාවල කෙටුම්පත මගින්,

  • 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතට ඉතාමත් සමාන ලෙස එහි ඇති වගන්‍ති අනුගමනය කරමින්,
  • සාගර විශ්වවිද්‍යාල, තාක්ෂණික විශ්වවිද්‍යාල හා භික්ෂු විශ්වවිද්‍යාල පනත් වලට සමාන,
  • කලින් පැවති 1981 පනතම තවදුරටත් වර්තමානයට මෙන්ම අනාගතයට ගැලපෙන පරිදි වෙනස් කොට,
  • ඉතාමත් සාධාරණ ලෙස විනිවිදභාවයකින් යුක්තව බලතල සහ වගකීම් පවරා ඇති,
  • නිලතලයන් එකිනෙකට එකක් වග විය යුතු,
  • තනි තීරණ ලබා ගැනීමට නොහැකි,
  • හමුදාව සහ සිවිල් සමාජය අතර සංහිඳියාව දියුණු කරමින්,
  • ජ්‍රජාතන්ත්‍රවාදය, ජාතික ප්‍රතිපත්ති හා ජාතික ආරක්ෂාව ආරක්ෂා කරමින්,
  • නැවත යුදමය වාතාවරණයක් රටේ ඇතිවූවොත් එයට ත්‍රිවිධ හමුදාව සියලු ක්ෂේත්‍රයන් ඔස්සේ සූදානම් කරවමින්,

ශ්‍රී ලංකාවේ සිසුන්ගේ උසස් අධ්‍යාපනයට හා ඔවුන්ගේ වැඩිහිටි ජීවිතයට අරුතක් එක් කරමින් රටට වැඩදායක විනය ගරුක මනුෂ්‍යත්වය හදුනන ප්‍රමිතිගත උපාධිධාරීන් බිහිකිරීමේ ක්‍රියාවලියකට මං මාවත් විවර කිරීමකි.

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල සංකල්පය යනු අධ්‍යාපනය “මිලිටරීකරණය” වෙනුවට මිලිටරිය සහ සිවිල් සමාජය “අධ්‍යාපනික” කිරීමකි. ශ්‍රී ලංකාවේ කාලාන්තරයක් තිස්සේ පාසල් පද්ධතිය තුල “කැඩෙට් පාසල්” “ආමි බෑන්ඩ්” “නේවි බෑන්ඩ්” හා “ගුවන් හමුදා බෑන්ඩ්” යන සංකල්ප පැවතුනද පාසල් මිලිටරීකරණයක් සිදුවී ඇත්ද?

සමාජ බෙදා වෙන් කිරීමට දිවා රෑ වෙහෙසෙන, අධ්‍යාපනය තමන්ගේ පෞද්ගලික බූදලයක් කරගැනීමට සැරසෙන, විශ්වවිද්‍යාලය ශිෂ්‍යා දේශපාලනික අන්දයෙකු කරන රටට අහිතකර බලවේගවල රට පුරා පතුරුවන බේගල්වලට නොරැවටී ඇත්ත ඇති සැටියෙන් දකින, සියලු දෙනාගේ අයිතීන් පිළිගන්නා ගෞරවනීය පුරවැසියෙකුගේ කෝණයෙන් මෙය කියවීම ඉතාමත් වටී.

Continue Reading

FEATURES

ලැම්ඩා ප්‍රභේදය පිළිබඳව ඔබ නොදත් දේ

Published

on

දකුණු ඇමරිකානු රටක් වන පේරු රාජ්‍යයෙන් පළමුව හමු වූ බවට නිල වශයෙන් වාර්තා වන ලැම්ඩා ප්‍රභේදය මේ වන විට එක්සත් රාජධානිය ඇතුළු රටවල් 30කින් පමණ හඳුනාගෙන තිබෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ලැම්ඩා නමැති කොවිඩ් වෛරස ප්‍රභේදය ‘තවදුරටත් ඇගයීමට ලක් කළ යුතු (Variant of Interet) ලෙස වර්ග කිරීමත් සමඟම ලොව පුරා ඒ පිළිබඳව අවධානය යොමු වූ තිබෙනවා.

ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව පේරු හි කොවිඩ් රෝගීන්ගේන 81%ක් මෙම ලැම්ඩා ප්‍රභේදය ආසාදිතවුවන් ය. පසුගිය වසරේ අගෝස්තු මසයේ දී පේරු රාජ්‍යයේ දී මුල් වරට වාර්තා වී ඇති මෙම ප්‍රභේදය පිළිබඳව වඩාත් කතාබහට ලක්ව ඇති හේතුව වන්නේ පේරු දේශයෙන් වාර්තා වන අධික කොවිඩ් මරණ ප්‍රතිශතයට ලැම්ඩා ප්‍රභේදය මූලික හේතුවක් විය හැකි බවට එරට සෞඛ්‍ය බලධාරීන් විසින් සැක පළ කිරීමත් සමගයි.

C.37 ලෙස ද හැඳින්වෙන ලැම්ඩා ප්‍රභේදය B.1.1.1. පරම්පරාව තුළ පිහිටා ඇත. එය බොහෝ දුරට දැනට දකුණු ඇමරිකානු මහද්වීපයේ පමණක් අනාවරණය වී ඇති අතර ප්‍රභේදය චිලී, ආර්ජන්ටිනාව, ඉක්වදෝරය යන රටවල්වල සැලකිය යුතු මට්ටමකින් වාර්තා වී ඇත. එමෙන්ම, මෑතකදී එක්සත් රාජධානියෙන් ආසාදිතයින් 6ක් හා ඕස්ට්‍රේලියාවෙන් එක් අයෙකු ද වාර්තා වී ඇත. එම සියලුම ආසාදිතයින් ජාත්‍යන්තර සංචාරකයින් වේ.

Giraya News Alerts

මේ අතර, නවතම චිලී හි සිදු කරන ලද නවතම පර්යේෂණයකින් හඳුනාගෙන ඇත්තේ, මීට පෙර හඳුනාගත් බ්‍රිතාන්‍යයේ ඇල්ෆා සහ බ්‍රසීලයේ ගැමා කොවිඩ් ප්‍රභේදවලට සාපේක්ෂව ලැම්ඩා ප්‍රභේදයේ සම්ප්‍රේෂණ හැකියාව අතිශය ඉහළ බවයි. ලැම්ඩා ප්‍රභේදය සම්බන්ධයෙන් සීමිත තොරතුරු වාර්තාවීම පර්යේෂණ සඳහා බාධාවක් වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කරන පරිදි, මෙහිදී අවධාරණය කළ යුතු කාරණාවන් වන්නේ මෙම දත්ත සහ ප්‍රතිශත පිළිබඳව අර්ථකතනය කිරීමේ දී ඒ ඒ රටවල්වල රෝගය හඳුනා ගැනිමේ පහසුකම්, රෝග හඳුනා ගැනිමෙට සිදු කරන පරීක්ෂාවන් හි ප්‍රතිශතයන් හා එම සෞඛ්‍ය පද්ධතියේ දරාගැනිමේ හැකියාවන් පිළිබව හොඳ දැනීමක් ඇතිව පමණක් අදාළ තත්ත්වයන් අනෙක් රටවල්වලට හා ලෝකයට බලපාන ආකාරය පුරෝකථනය කළ යුතු බවයි.

එමෙන්ම, දැනට අප රට රටෙහි පැතිරෙමින් පවතින ඇල්ෆා සහ ඩෙල්ටා ප්‍රභේද අයත් වන්නේ, ලැම්ඩා ප්‍රභේදය දැනට ගොනු කර තිබෙන කාණ්ඩයට වඩා වැඩි තිව්‍රතාවයකින් යුතු වෛරස ප්‍රභේද ගොනු කර ඇති, ” දැඩි අවධානයක් යොමු කළ යුතු” (Variant of Concern) යන කාණ්ඩයටයි. ලැම්ඩා ප්‍රභේදය තවමත් එලෙස වැඩි අවධානයට යොමු කළ යුතු වූවක් ලෙස හඳුනාගෙන නොමැති අතර එය තවදුරටත් අධ්‍යනය කළ යුතු ප්‍රභේදයක් ලෙස පමණක් නම් කර තිබෙනවා.

මෙතෙක් නව කොවිඩ් වෛරස ප්‍රභේද වලින් ප්‍රවේශම් වීම් භාවිතා කළ නිවැරදි මුහුණු ආවරණ භාවිතය, පුද්ගල දුරස්ථභාවය සහ නිතර දෑත් පිරිසිදු කර ගැනීම මෙම ලැම්ඩා ප්‍රභේදයෙනුත් අපට ආරක්ෂාව සැලසෙන බවයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කරන්නේ. එමෙන්ම, විවිධ එන්නත් වර්ගවලට මෙම නව ප්‍රභේදයෙන් අපව ආරක්ෂා කිරීමට හැකියාවෙහි වෙනසක් ඇති ද යන්න පිළිබඳව තවම පර්යේෂණ සිදු කරමින් පැවතුනත්, එන්නත්කරණය කෙරෙහි තවදුරටත් විශ්වාසය තැබිය හැකි බවයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

Continue Reading

FEATURES

ආසාදිතයෙකු නිවසේ රැඳී සිටී නම් අනුගමනය කළ යුතු දේ

Published

on

කොවිඩ් ආසාදිත රෝගියෙකු නිවසේ සිටියදි සෑම විටම අන් අයගෙන් වෙන්ව කටයුතු කළ යුතු බව ආපදා පෙර සුදානම් සහ හදිසි ප්‍රතිචාර ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පැවසීය.

එසේම මෙම කරුණුද කොවිඩ් ආසාදිතයෙකු නිවසේ සිටි නම් අනුගමනය කළ යුතුය.

1 හිරු එළිය වැටෙන කාමරයක තනිවී සිටිම වැදගත්
2 තමන් වෙනම වැසිකිළියක් භාවිත කිරීම.
3 විවේකීව සිටීම වැදගත්.
4 ඇඳේ වැතිර සිටිනවිට වම් හෝ දකුණු ඇලයට හැරී සිටිය යුතුය.කොට්ට කිහිපයක් උඩ හිස තබා ගැනීම ශ්වසනය සඳහා පහසුය.
5 විජලනය වීම වළක්වා ගැනීමට දියර වර්ග නිතර පානය කරන්න.
6 නිදන්ගත රෝග ඇති අයෙකු ඔවුන්ගේ බෙහෙත් වර්ග නිසි අයුරින් භාවිත කරන්න
7 හෘද රෝගීන් ඔවුන්ගේ ඖෂධ නිසි වේලාවට ලබා ගන්න.
8 දියවැඩියාව ඇත්නම් ඖෂධ ගන්න අතරතුර ආහාර පාලනය කිරිම වැදගත්.
9 ඇදුම රෝගය තිබේනම් ඉන්හේලර් එක පාවිච්චි කළ යුතුය.
10 දිනකට දෙවරක් උණු වතුර හුමාලය ආග්‍රහණය කිරීම පෙනහළුවල සෞඛ්‍ය තත්ත්වය වර්ධනය කර ගැනීමට ඉවහල් වෙයි.
11 මුව ආවරණය පැළදිය යුතුය.
12 රෝගි තත්ත්වය උත්සන්න වන බව හැඟේ නම් ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සම්බන්ධ කර ගතයුතුය.

Giraya News Alerts

Continue Reading

Trending

Copyright © 2016 Giraya News. Powered by Digital Hub