Connect with us
Advertise with Giraya

BUSINESS

Exclusive: කෘතීම වාහන මිල පාලනයට රජයේ අවධානය!

Published

on

2020 මාර්තු මස 19 දින අති විශේෂ ගැසට් පත්‍රයක් මඟින් මෙරටට මෝටර් රථ ආනයනය කිරීම තහනම් කිරීමට රජය කටයුතු කළා. ඒ රට පළමුවරට ලොක්ඩවුන් කිරීමෙන් සතියකට පසුවයි. ඊට හේතු ලෙස රජය පෙන්වා දුන්නේ අපනයන ආදායම අඩුවී ආනයන වියදම වැඩිවීම නිසා ඒ වනවිට ලංකාව මුහුණ දී සිටි විදේශ විනිමය හිඟයට විසඳුම් ලෙස මෙම තීරණය ගත් බවයි.

ඒ සමගම දේශීය වෙළෙඳපොලේ වාහන මිල අසාමාන්‍ය ලෙස ඉහළ යාම ආරම්භ වූ අතර වාහන ‌‌අලෙවිකරුවන් පැරණි වාහන රැස් කිරීම ද ආරම්භ විය.

කෙසේ වෙතත්, එලෙස කෙටි කාලයකට බව පවසමින් පනවා තිබූ වාහන ආනයන තහනම මේ වනවිට වසර එකහාමාරක් දක්වා දිගු වෙමින් පවතින අතර රජයේ ආරංචි මාර්ග උපුටා දක්වමින් වාහන ආනයනකරුවන් පවසන්නේ තවත් වසර දෙක තුනකට වාහන ආනයනය සිදු නොවන බවයි. මේ සම්බන්ධයෙන් අප කළ විමසීමක දී මුදල් අමාත්‍යංශය සඳහන් කළේ එලෙස වසර 2, 3කට වාහන ගෙන්වීමේ තීරණය දීර්ග කිරීමට රජය මෙතෙක් තීරණයක් ගෙන නොමැති බවයි. නමුත් දැනට වාහන ගෙන්වීම සඳහා සූදානමක් නැති බව ද එම ප්‍රකාශකයා සඳහන් කළා.

Giraya News Alerts

අයවැයෙන් වාහන මිල නියාමනයට නව නීති

මේ අතර, මෙවර අයවැයෙන් වාහන ගෙන්වීමට අවසර දීමට සූදානමක් ඇත්දැයි කළ විමසීමේ දී අදාළ ප්‍රකාශකයා සඳහන් කළේ මෙවර අයවැයෙන් වාහන ආනයනය කිරීමට අවසර දීමට සූදානමක් නොමැති වුවත් දේශීය වෙළෙඳපොලේ වාහන මිල නියාමනය කිරීමට සූදානමක් ඇති බවයි. වාහන මිල දී ගැනීමේ දී ලීසිං පහසුකම් සැපයීම හරහා කෘතීම මිලක් නිර්මාණය කර ලීසිං පහසුකම් ලබාගත් විට වාහන ගෙන්වීමට අවසර දුන් පසු එම ලීසිං ආයතන ද කඩා වැටීමේ අවදානමක් මතුව ඇති බව එම ප්‍රකාශකයා සඳහන් කළා.

ඒ අනුව, වාහනවල වර්ගය, නිෂ්පාදිත වර්ෂය, ධාවනය කර ඇති දුර ප්‍රමාණය මත එම වාහන සඳහා ලබා දිය හැකි උපරිම ලීසිං පහසුකම තීරණය කිරීමේ ක්‍රමවේදයක් සකස් කිරීම පිළිබඳ රජයේ අවධානය යොමුව ඇතැයි එම ප්‍රකාශකයා සඳහන් කළා.

මෙමගින් මූල්‍ය වෙළඳපොල ස්ථාවරව පවත්වා ගනිමින් වාහන සඳහා කෘතීම මිලක් නිර්මාණය කිරීම වැළැක්වීමට අපේක්ෂා කරන බව එම ප්‍රකාශකයා පෙන්වා දුන්නා.

ආර්ථික විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ මෙලෙස කෘතීම මිලක් නිර්මාණය කරමින් ඒ සඳහා ලීසිං පහසුකම් ලබා දී වැඩි මිලට වාහන අලෙවියට ඉඩ ලබා දුනහොත් ඉදිරියේ දී එම මුදල් ආපසු ගෙවීම පැහැර හැරි විටෙක රටේ මූල්‍ය ස්ථායිතාවයට පවා බරපතල හානියක් සිදුවිය හැකි බවයි. වෙළෙඳපොලේ මිල කෘතීමව ඉහළ දැමීම වැළැක්වීම සඳහා ද උපරිම ලීසිං මුදලක් ඒ ඒ වාහනය මත තීරණය කිරීමේ ක්‍රමවේදය හරහා වාහන මිල නියාමනය කිරීමට රජයට හැකිවනු ඇති බව ද ආර්ථික විශ්ලේෂකයින් පෙන්වා දෙනවා.

Advertisement Giraya News Alerts
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

BUSINESS

කොරේ පිටට මරේ – ඉන්ධන මිල වැඩි කළ යුතු බව ඛනිජ තෙල් සංස්ථාව කියයි

Published

on

By

රට තුළ සියලුම භාණ්ඩ හා සේවා මිල අධික ලෙස ඉහළ යමින් ඇති තත්වයක් තුළ ඉන්ධන මිල ද යළිත් වරක් ඉහළ දැමීම අවශ්‍ය වී ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා.

කොළඹ පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති නීතිඥ සුමිත් විජේසිංහ මහතා සඳහන් කළේ සංස්ථාව මේ වනවිට රුපියල් බිලියන 70ක පාඩුවක් ලබා ඇති බවයි. මෙවැනි අවස්ථාවක ඉන්ධන මිල ඉහළ දැමීමක් කළ යුතු බව විෂයභාර අමාත්‍යවරයාගේ අවධානයට යොමු කළ බව ද සංස්ථා සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.

අවසන් වරට ඉන්ධන මිල ඉහළ දැමුවේ 2021 වසරේ ජුනි 11 වන දින මධ්‍යම රාත්‍රියේ සිටයි. ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 20 කින්, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 23 කින් , ඩීසල් ලීටරයක් රුපියල් 07 කින්, සුපර් ඩීසල් ලීටරයක් රුපියල් 12 කින් ,භූමිතෙල් රුපියල් 07 ඉහළ දැමීමට ඛනිජ තෙල් සංස්ථාව කටයුතු කළා.

Giraya News Alerts

Continue Reading

BUSINESS

සේවකයින් ඉවත් කිරීම වෙනුවට ඔවුන් රැකගනිමින් වසංගතයට මුහුණ දෙන්න – අගමැති ව්‍යාපාරිකයින්ගෙන් ඉල්ලයි

Published

on

සේවකයින් ඉවත් කිරීම වෙනුවට ඔවුන් රැකගනිමින් මෙම වසංගත තත්ත්වය හමුවේ මුහුණ පා ඇති අභියෝගවලට මුහුණ දෙන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සියලුම කර්මාන්තකරුවන්ගෙන් සහ ව්‍යාපාරිකයින්ගෙන් ඉල්ලීමක් කර තිබේ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය විසින් නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇත.

ශ්‍රී ලංකා ඇඟලුම් සන්නාම සංගමය හා ශ්‍රී ලංකා සිල්ලර වෙළෙඳුන්ගේ සංගමය මුහුණ පා ඇති ගැටලු සම්බන්ධයෙන් වූ සාකච්ඡාවක් අරලියගහ මන්දිරයේ දී පැවති අවස්ථාවේ දී අගමැතිවරයා එම අදහස් පළ කර තිබේ.‍

Giraya News Alerts

බැංකු ණය සහන ලබා ගැනීම, ණයවර ලිපි විවෘත කිරීමේ දී ඇති ගැටලු විසඳා ගැනීම, ඇඟලුම් සේවකයන් සඳහා එන්නත්කරණය, කොවිඩ් මාර්ගෝපදේශවලට අනුව නිමි ඇඳුම් වෙළෙඳසැල් විවෘත කිරීමට අවසර ලබා ගැනීම, සේවක අර්ථසාධක අරමුදල් සහ සේවා නියුක්තයන්ගේ භාර අරමුදල් ගැටලු සම්බන්ධයෙන් පැමිණ සිටි නියෝජිතයෝ මෙහිදී අදහස් දැක්වූහ.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සහ කොවිඩ්-19 ගෝලීය වසංගතය හේතුවෙන් දැනට මාස 24කට ආසන්න කාලයක් සිය ව්‍යාපාර කටයුතු අඩපණ වී ඇතැයි පෙන්වා දුන් එම නියෝජිත පිරිස ව්‍යාපාර හා වෙළෙඳාම් පවත්වා ගැනීම සඳහා මුදල් අමාත්‍යාංශය ඔස්සේ හදිසි සහන ලබා දෙන්නැයි අගමැතිවරයාගෙන් ඉල්ලීම් කර තිබේ.

ව්‍යාවපාර නඩත්තු කරමින් සේවකයන් තවදුරටත් සේවයේ තබා ගැනීම ද දුෂ්කර වී ඇති නිසා ඔවුන් ඉවත් කිරීමට සිදුවන අවස්ථා හැර වෙන විකල්පයක් නොමැති බව කී එම සංගම්වල නියෝජිතයෝ එසේ සේවකයන් ඉවත්කිරීම ද දුෂ්කර කාර්යයක් වී ඇති බව පෙන්වා දී ඇත.

Continue Reading

BUSINESS

මහ බැංකු අධිපතිගෙන් විශේෂ ප්‍රකාශයක්

Published

on

බැංකු මගින් ආනයන සඳහා පහසුකම් සැලසීමට නොහැකි වන අන්දමින් දේශීය වෙළඳපොළේ විදේශ මුදල් ද්‍රවශීලතාවයේ හිගයක් පවතිතන බවට පසුගිය දින කිහිපයේදී විවිධ පාර්ෂව විසින් දැක්වූ අදහස්වලට ප්‍රතිචාර දක්වමින් ශ්‍රී ලංකා මහබැංකුවේ අධිපති මහාචාර්යය ඩබ්ලිව් ඩී ලක්ෂ්මන් මහතා විශේෂ ප්‍රකාශයක් කර තිබෙනවා.

දේශීය වෙළඳපොළේ විදේශ මුදල් ද්‍රවශීලතාවය පිළිබඳ ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති දේශමාන්‍ය මහාචාර්ය ඩබ්ලිව්. ඩී. ලක්ෂ්මන් මහතාගේ ප්‍රකාශය

පසුගිය දින කිහිපය තුළ, බැංකු මගින් ආනයන සඳහා පහසුකම් සැලසීමට නොහැකි වන අන්දමින් දේශීය වෙළඳපොළේ විදේශ මුදල් ද්‍රවශීලතාවයේ හිඟයක් පවතිතැයි යන උපකල්පනය යටතේ විවිධ පුද්ගලයින් සහ මාධ්‍ය විසින් අදහස් දක්වා තිබුණි. සමහර මාධ්‍ය විසින් ප්‍රකාශයට හෝ ප්‍රසිද්ධියට පත් කරන ලද වාර්තා තුළ අන්තර්ගත බරපතල සෘණාත්මක අදහස් රටට ඉතා හානිකර විය හැකි ය. මේ සම්බන්ධයෙන් පවතින සත්‍ය තත්ත්වය පැහැදිලි කිරීම මෙම ප්‍රකාශයේ අරමුණ වෙයි.

Giraya News Alerts

පසුගිය වසර කිහිපය තුළ දී අධික ලෙස විදේශ මුදල් ණය ගැනීම් හේතුවෙන්, නුදුරු කාලයේ දී පියවීමට නියමිත ණය සේවාකරණ වගකීම් ඉටු කිරීමට ශ්‍රී ලංකාවට ඇති හැකියාව පිළිබඳ අහිතකර අදහස් දැක්වීම්, 2019/2020 දී වත්මන් රජය පිහිටුවන කාලය වනවිටත් දක්නට ලැබුණි. එවැනි සමපේක්ෂණ පැවතිය ද, විශේෂයෙන් ම COVID-19 වසංගතය හේතුවෙන් අපගේ සංචාරක අංශයෙන් ලැබෙමින් තිබුණු මුදල් ප්‍රවාහ බෙහෙවින් අඩු වීමෙන් ඇති වූ පීඩනය මධ්‍යයේ වුව ත්, සියලු නියමිත ගෙවීම් ඉටු කිරීම සම්බන්ධයෙන් ලංකාව තබා ඇති නිකැළැල් වාර්තාව තවදුරටත් පවත්වා ගනිමින්, ශ්‍රී ලංකා රජය සිය බාහිර ණය සේවාකරණ වගකීම් සියල්ල නියමිත වේලාවට සපුරාලීමේ ස්ථාවරය නැවත නැවතත් සහතික කර ඇත.

විදේශ මුදල් ප්‍රවාහ අඩුවීම මධ්‍යයේ වුව ද, මෙම අසීරු කාර්යභාරය ඉටු කිරීමට හැකි වන ආකාරයට, තෝරාගත් අත්‍යවශ්‍ය නොවන ආනයන මත සීමා පැනවීමට ශ්‍රී ලංකාව කටයුතු කළේ ය. මෙම සමහර සීමාවන් ක්‍රමයෙන් ඉවත් කෙරෙමින් තිබුණ ද, COVID-19හි රැළි කිහිපයක් ඔස්සේ දිගින් දිගටම මතුවන අභියෝග හමුවේ, අත්‍යවශ්‍ය නොවන හා හදිසි නොවන ආනයන තවදුරටත් සීමා කර තබා ගැනීමේ අවකාශය පවතින බව මහ බැංකුවේ අදහසයි.

පසුගිය වසර එක හමාර තුළ රජය සහ මහ බැංකුව විසින් ගනු ලැබූ ක්‍රියාමාර්ගවල ප්‍රතිඵලයක් ලෙස, කල් පිරෙන ණය සේවාකරණ වගකීම් සාර්ථකව පියවන අතර ම, දළ දේශීය නිෂ්පාදිතයේ අනුපාතයක් ලෙස විදේශ ණය ප්‍රමාණය සියයට 40ක් පමණ දක්වා සැලකිය යුතු ලෙස අඩු කර ගැනීමටත් විදේශ ණයවල මුහුණත වටිනාකම 2019 අවසානයේ දී පැවති එ.ජ. ඩොලර් බිලියන 34.1ක සිට 2021 මාර්තු අවසානය වන විට එ.ජ. ඩොලර් බිලියන 32.2ක් දක්වා පහළ දමා ගැනීමටත් රජයට හැකි ව තිබේ. දිගු කාලයක් තිස්සේ ශ්‍රී ලංකාව එ.ජ. ඩොලර් බිලියන 10ක වෙළඳ පරතරයකට මුහුණ දෙමින් සිටී. එය ශ්‍රී ලංකාව අවදානම් සහගත තත්ත්වයකට පත් කරන බැවින්, ප්‍රවේශම්කාරී ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග ඔස්සේ, ඒ සඳහා පිළියම් යෙදීම ශ්‍රී ලංකාවේ යහපතට හේතු වන බව මගේ විශ්වාසයයි. මෙය සිදු කරන අතර ම, රටේ කීර්තිනාමයට සහ ශ්‍රී ලංකා ආර්ථිකය හා මූල්‍ය පද්ධතිය කෙරෙහි ආයෝජකයින් තබා ඇති විශ්වාසය පලුදු නොවන අන්දමින් අපි අපගේ ණය සේවාකරණ වගකීම් සපුරාලීම අඛණ්ඩව සිදු කරමින් සිටිමු.

දේශපාලන හේතු මත ක්‍රියා කරමින් ශ්‍රී ලංකාවේ ඇතැම් කොටස්, විනිමය අනුපාතිකයේ ඉදිරි ගමන්මග පිළිබඳවත්, ණය වගකීම් ඉටු කිරීමට රජයට ඇති හැකියාව සම්බන්ධයෙනුත් දිගින් දිගට ම ඍණාත්මක සමපේක්ෂණයෙහි යෙදී සිටිනු දක්නට ඇත. පෞද්ගලික වාසි අරමුණින් කෙරෙන එවැනි සමපේක්ෂණ, දත්ත මගින් තහවුරු කළ නොහැකි මතයක් ගොඩනැගීමට වෙර දරන අතර, එය සාමාන්‍ය ජනතාවට මෙන්ම ව්‍යාපාරික ප්‍රජාවට ද අහිතකර ය. මෙම සමපේක්ෂණ ක්‍රියාකාරකම් නිසාම විදේශ විනිමය වෙළඳපොළෙහි ලැබීම් හා ගෙවීම් අතර අනවශ්‍ය වන කෙටිකාලීන අසමබරතාවක් නිර්මාණය කර ඇත. කෙසේ වුවද, වෙළඳ කටයුතුවලට අනවශ්‍ය බාධා සිදුව නැති බව රජය සහ මහ බැංකුව සහතික කරන අතර, ආනයන ක්‍රියාවලියේ දී අතරමැදි සහ ප්‍රාග්ධන භාණ්ඩ ආනයනයට ප්‍රමුඛතාව ලබා දී ඇති බව අවධාරණය කරමු. 2021 වසරේ මාර්තු, අප්‍රේල් සහ මැයි යන මාසවලදී සමස්ත ආනයන වටිනාකමෙහි සාමාන්‍ය අගය එ.ජ. ඩොලර් බිලියන 1.7ක් වැනි සැලකිය යුතු ඉහළ මට්ටමක පැවතුණි. මෙම මාසවල පැවති ඉහළ ආනයන වටිනාකම්වලින් නිරූපණය වනුයේ මාධ්‍ය වාර්තාවලින් ප්‍රකාශයට පත්වන පරිදි ආනයනකරුවන්, විශේෂයෙන් ම අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනකරුවන්, අධික ලෙස අපහසුතාවයට පත් වී නොමැති බවය. සියලුම වාණිජ බැංකුවල සහභාගිත්වයෙන් යුතුව, මහ බැංකුව දැනට සිදු කරමින් සිටිනුයේ විචක්ෂණශීලී ලෙස ආනයන සහ විදේශ සංචිත කළමනාකරණය කිරීමයි. ඉදිරි මාස කිහිපය තුළදී විනිමය ප්‍රවාහ ඉහළ යාමට නියමිතය. එසේ වූ කල ඉදිරි ප්‍රතිපත්ති සකස් කිරීමේ දී මහ බැංකුව රටේ ශේෂ පත්‍රය හා බාහිර සාර්ව ආර්ථික තත්ත්වයන් නැවත ඇගයීමට ලක් කරනු ඇත.

මුදල් ප්‍රවාහවල පවතින නොගැලපීම් කළමනාකරණය කිරීමේ අන්තර්කාලීන විසඳුමක් වශයෙන්, විදේශ විනිමය වෙළඳපොළෙහි ස්ථාවරත්වය පවත්වා ගෙන යෑම සහතික කිරීම සඳහා මහ බැංකුව බැංකු අංශය සමඟ එක්ව සමීපව කටයුතු කරමින් සිටියි. බැංකු අංශයේ ප්‍රධාන නිලධාරීන් සමඟ මහ බැංකුව නිරන්තරව සාකච්ඡා පවත්වන අතර‍, අත්‍යවශ්‍ය හා හදිසි ආනයනවලට ප්‍රමුඛත්වය ලබා දෙමින් සහ සමපේක්ෂණ ස්වභාවයේ ආනයන අධෛර්යමත් කරමින් විදේශ විනිමය ගෙවීම් කළමනාකරණය කිරීමට බැංකු ප්‍රජාව අන්‍යොන්‍ය වශයෙන් එකඟ වී ඇත. ආත්ම වාසි ඉහළින් අගයන පාර්ශ්වයන් විසින් මෙලෙස අනවශ්‍ය ලෙස හුවා දක්වනු ලබන්නේ බැංකු විසින් ගනු ලබන එවැනි විචක්ෂණශීලී ක්‍රියාමාර්ගයන් ය.

අපනයන ඉපැයීම් කොටසක් අනිවාර්යයෙන් රුපියල්වලට පරිවර්තනය කිරීමත් සමපේක්ෂණ ක්‍රියාකාරකම් අඩාල කිරීමත් අරමුණු කොට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ගනු ලැබූ අදාළ නියාමන ප්‍රතිපත්ති මගින් බැංකු ප්‍රජාව ගන්නා ක්‍රියාමාර්ගවලට සහාය ලබා දී ඇත. වාණිජ බැංකුවලට සහ ව්‍යාපාරික ආයතනවලට විදේශ මුදලින් අරමුදල් ණයට ගැනීමට මහ බැංකුව අවස්ථාව ලබා දී ඇත. එබැවින්, නිල සංචිත මත රඳා නොපැවතී ආනයන සඳහා මුදල් යෙදවීමට බැංකු පද්ධතියට ඉඩ සැලසී ඇත. එමගින් එකී බැංකු බාධාවකින් තොරව ණය සේවාකරණ ක්‍රියාවලිය අඛණ්ඩව කර ගෙන යෑමේ ජාතික ප්‍රයත්නයට සහාය වෙමින් ක්‍රියා කරයි.

වර්තමානයේ දී, ශ්‍රී ලංකාවේ ණය සේවාකරණ වගකීම් කළමනාකරණය කිරීම කෙරෙහි අපගේ අවධානය විශේෂයෙන් යොමුව ඇත. මේ සම්බන්ධයෙන්, චීන මහජන බැංකුව සමඟ අත්සන් කොට ඇති, දළ වශයෙන් එ.ජ. ඩොලර් බිලියන 1.5ක විදේශ මුදල් හුවමාරු ගිවිසුමෙන් තොරව ගත්කල, අපගේ නිල විදේශ සංචිතය එ.ජ. ඩොලර් බිලියන 4ක් වේ. රජයේ ණය සේවාකරණ හේතුවෙන් ඉදිරි කාල සීමාව තුළ මෙම විදේශ සංචිත මට්ටමේ කෙටි කාලීන උච්චාවචන පැවතිය හැකි වුව ද, රටට ගලා එන විදේශ විනිමය ප්‍රවාහ තුළින් සංචිත ප්‍රමාණවත් මට්ටමින් පවත්වා ගැනීම සඳහා සුදුසු මූල්‍යකරණ උපායමාර්ග සකස් කර ඇත. කෙටි කාලයක් තුළ, විශේෂයෙන් නව ආයෝජන අංශය හරහා අපේක්ෂා කරන ණය නොවන ලැබීම් සහ බහුපාර්ශ්වීය හා ද්විපාර්ශ්වීය ප්‍රභවයන්ගෙන් රජයට ලැබෙන වෙනත් ලැබීම් මෙකී උපායමාර්ග අතර ඇත. මහ බැංකුව අපේක්‍ෂා කරන ලැබීම් අතරට 2021 ජූලි මාසයේදී බංග්ලාදේශ මහ බැංකුවෙන් ලබා ගැනීමට සැලසුම් කර ඇති එ.ජ. ඩොලර් මිලියන 250ක මුදල් හුවමාරු පහසුකම, 2021 අගෝස්තු මාසයේදී ඉන්දියානු සංචිත බැංකුව සමඟ එළැඹීමට නියමිත එ.ජ. ඩොලර් මිලියන 400ක දකුණු ආසියානු කලාපීය සහයෝගිතා මූල්‍ය සංවිධාන මුදල් හුවමාරු පහසුකම සහ ඉන්දියාව සමඟ දැනට සාකච්ඡා මට්ටමේ පවතින එ.ජ. ඩොලර් මිලියන 1,000ක විශේෂ මුදල් හුවමාරු පහසුකම අයත් වේ. මෙම ලැබීම්වලට අමතරව, 2021 අගෝස්තු මාසයේ දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විශේෂ ගැනුම් හිමිකම් ප්‍රතිපාදන යටතේ ආසන්න වශයෙන් එ.ජ. ඩොලර් මිලියන 800ක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. මහ බැංකුවට ණය නොවන ලැබීම් මගින් නිල සංචිත ගොඩනැගීමට උපකාරී වන පරිදි අපනයන ආදායම සහ විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණ මහ බැංකුව විසින් වෙළඳපොළන් මිලදී ගැනීමේ ක්‍රමයක් හදුන්වා දී ඇත. ඒ හරහා ඉදිරියේ දී ආසන්න වශයෙන් එ.ජ. ඩොලර් මිලියන 700ක් වාර්ෂිකව ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. නේවාසික හිමිකරුවන් සතු ඉදිරියේදී කල් පිරෙන ශ්‍රී ලංකා ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කරවල මුදල් ආපසු මෙරටට ගෙන්වා ගැනීම සඳහා එකී නේවාසිකයන් පොළඹවා ගැනීමට ද පියවර ගෙන තිබේ. ඉදිරියේ කල් පිරෙන ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කරවලින් සියයට 30ක් ශ්‍රී ලාංකික හිමිකරුවන් සතු බව මෙහිලා සඳහන් කළ යුතු ය. එපමණක් නොව, මූර්ත අංශයේ ක්‍රියාකාරකම් සඳහා සහාය වනු පිණිස බැංකු අංශය සහ ආයතනික අංශය ද සහන පොළී අනුපාතික යටතේ මූල්‍ය ප්‍රවාහ වැඩි කර ගනිමින් සිටී. මෑතදී සිදු කරන ලද අදාළ විදේශ විනිමය රෙගුලාසි ලිහිල් කිරීම භාවිත කරමින් පෞද්ගලික අංශයේ ආයතන විදේශීය අරමුදල් රැස් කරනු ඇතැයි ද ඉදිරි කාලපරිච්ඡේදය තුළ ලැබීමට නියමිත මෙම ප්‍රවාහවලින් සමහරක් නිල සංචිතවලට ද එකතු වනු ඇතැයි ද අපේක්ෂා කෙරේ. මෑතක දී නීතිගත කෙරුණු කොළඹ වරාය නගර කොමිෂන් සභාව හරහා ආර්ථිකයට ලැබෙන ණය නොවන විදේශ විනිමය ප්‍රවාහවල විශාල වර්ධනයක් අපේක්ෂිතය.

සමස්තයක් වශයෙන්, වර්තමානයේ දේශීය වෙළඳපොළේ දක්නට ලැබෙන විදේශ මුදල් ද්‍රවශීලතා තත්ත්වය තාවකාලික බවත්, අධික ලෙස සමපේක්ෂණීය ක්‍රියාකාරකම් මගින් මෙහෙයවනු ලබන බවත් මාධ්‍යයට, මහජනතාවට, ව්‍යාපාරික ප්‍රජාවට සහ ආයෝජක ප්‍රජාවට දන්වා සිටීමට මම කැමැත්තෙමි. අනවශ්‍ය බාධාවන්ගෙන් තොරව, තත්ත්වය මනාව කළමනාකරණය කිරීම සමස්තයක් වශයෙන් රටට වාසිදායක වන බැවින්, ජාතික අවශ්‍යතාවක් නොවන අනවශ්‍ය සමපේක්ෂණ ක්‍රියාකාරකම්වලින් වැළකී ඉවසිලිවන්තව කටයුතු කරන ලෙස වෙළඳපොළේ සිටින සියලු පාර්ශ්වකරුවන්ගෙන් අපි ඉල්ලා සිටිමු.

Continue Reading

Trending

Copyright © 2016 Giraya News. Powered by Digital Hub