Connect with us
Advertise with Giraya

NEWS

විදුලිය බිඳවැටීම් යථාතත්වයට පත් කරන්නේ වැඩ කරන පැය 8 දී පමණයි – විදුලි ඉංජිනේරුවන්

Published

on

අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට පිවිස සිටින ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය විසින් සිය වෘත්තීය ක්‍රියාමාර්ග දැඩි කර තිබෙනවා. ඒ අනුව, පැය 8ක සේවා කාලයෙන් බාහිරව සිදුවන හදිසි විදුලි බිඳ වැටීම් යථා තත්ත්වය⁣ට පත් කිරීමේ කටයුතුවලින් ඉවත් වීමට ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය තීරණය කර තිබෙනවා.

දෙසැම්බර් 01 දින පස්වරුවේ මාධ්‍ය හමුවකට එක්වෙමින් එම සංගමයේ සභාපති සෞම්‍ය කුමාරවඩු මහතා වැඩිදුරටත් කියා සිටියේ අද (01) සිට අකුරට වැඩ කිරීමේ දෙවන අදියර ක්‍රියාත්මක කරන බවයි.

ඉල්ලීම් 06 ක් මුල් කරගනිමින් ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය පසුගිය 25 දින පස්වරු 12 සිට අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට අවතීරණ විය. ඒ නිව්ෆෝට්‍රස් ගනුදෙනුව අත්හිටුවීම ඇතුළු ඉල්ලීම් මුල් කරගෙනයි. එම ඉල්ලීම් මෙසේය.

Giraya News Alerts
  1. අවිධිමත් සහ නීත්‍යානුකුල නොවන නිව් ෆෝට්‍රස් LNG ගනුදෙනුව ක්‍රියාත්මක නොකිරීම.
  2. දැනට සිදු වන LNG ටෙන්ඩර් ක්‍රියාවලිය අඛණ්ඩව ඉදිරියට පවත්වාගන යාම.
  3. විදුලි බල මණ්ඩලය කොටස්වලට වෙන් කිරීමේ වැඩපිළිවෙළ අත්හිටුවීම.
  4. 1969 අංක 17 දරණ විදුලිබල මන්ඩල පනත සංශෝධනය අත්හිටුවීම.
  5. සමාන්‍යාධීකාරී තනතුර දේශපාලනීතරණයෙන් වැළැක්වීම.
  6. ජ්‍යෙෂ්ඨ කළමානාකාරවරුන් මාරුකර යැවීම අත්හිටුවීම.

මේ අතර පසුගිය දා සිදුවුන විදුලිය බිඳ වැටීම කඩාකප්පල්කාරී ක්‍රියාවක් බවට චෝදනා කරමින් විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා පොලීසිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කොට තිබෙනවා.

නොවැම්බර් 29 දින රාත්‍රියේ සිදුවූ විදුලිය බිඳවැටීමේ සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් සිදුකරන ලෙස ඉල්ලා ලංකා විදුලිබල මණ්ඩලය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නොවැම්බර් 30 දින මෙලෙස පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

– රිවිර

NEWS

පාසල් දින ගණන අඩු කරන්නැයි ගම්මන්පිල රජයට කියයි

Published

on

By

පවතින ඩොලර් අර්බුධය හමුවේ ඉන්ධන ආනයනය ඇතුළු සියලු ආනයන බිඳ වැටෙමින් පවතී. මේ වනවිටත් ඉන්ධන නෞකා දෙකක් මෙරටට පැමිණ ඇති අතර එම නෞකාවලට ගෙවීම් සිදුකිරීම සඳහා අවශ්‍ය ඩොලර් නිකුත් කිරීමට මහබැංකුව අසමත්ව සිටී. එබැවින් ඉන් එක් නෞකාවක් සඳහා මේ වනවිටත් ප්‍රමාද ගාස්තු ලෙස දෛනිකව ඩොලර් 18000ක් හෙවත් රුපියල් ලක්ෂ 36කට අධික මුදල් ගෙවීමට සිදුවී තිබේ.

මේ තත්වය යටතේ ඉදිරියේ භාවිතය අවම කිරීම සඳහා වන තීරණ ගත යුතු බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා කැබිනට් මණ්ඩලය වෙත දැනුම් දී ඇත. අමාත්‍යවරයා යෝජනා කර ඇති පරිදි පාසල් පැවැත්වීමේ දින ගණන සීමා කිරීම, රාජ්‍ය නිලධාරීන් කොළඹට කැඳවීම සීමා කිරීම වැනි කටයුතු මගින් කොළඹට පැමිණෙන වාහන සීමා කිරීම කළ යුතු බව පෙන්වා දී ඇත.

එසේම කර්මාන්ත සඳහා අවශ්‍ය විදුලි බලය පුනර්ජනනීය බලශක්තිය මගින් ලබා ගැනීම සඳහා දිරිගැන්වීමට කටයුතු කළ යුතු බවත් ඔහු පෙන්වා දී ඇත. එසේම ගෑස් සැපයුම ප්‍රමාණවත් පරිදි පවත්වා නොගැනීම හේතුවෙන් ජනතාව භූමිතෙල් භාවිතා කිරීමට පෙළඹීම ද අනාගතයේ දී ඉන්ධන ගැටළුව තීව්ර කිරීමට දායක විය හැකි බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දී ඇත.

Giraya News Alerts

මේ අතර මේ වනවිට මෙරට ඉන්ධන සංචිත තවත් දින 12ත් 17ත් අතර ප්‍රමාණයකට පමණක් පවතින බව ඛණිජ තෙල් සංස්ථා සේවක සංගම් පවසන අතර මෙරටට පැමිණ ඇති නෞකා දෙක හැකි ඉක්මණින් නිදහස් කරගත යුතුව පවතින බව ද ප්‍රකාශ කරයි. එසේ නොකිරීමෙන් තෙල් හිඟයක් ඇති වීම මෙන්ම දැවැන්ත ප්‍රමාද ගාස්තුවක් ද ගෙවීමට සිදුවන බව තෙල් සංස්ථා සේවක සංගම් පෙන්වා දෙයි.

මේ අතර, අවශ්‍ය ඉන්ධන නොලැබීම හේතුවෙන් අඟහරුවාදා සිට විදුලි කප්පාදුවක් ආරම්භ කිරීමට සිදුවන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා. ඒ අනුව, දිවා කාලයේ පැයක කාලයකුත්, රාත්‍රී කාලයේ පැය 1 1/2ක කාලයකුත් ලෙස දෛනිකව පැය දෙකහාමාරක් විදුලි සැපයුම අත්හිටුවීමට සිදුවන බව එම මණ්ඩලය පෙන්වා දෙයි.

– රිවිර

Continue Reading

NEWS

නඩුව දවසේ අසනීප වී රෝහල්ගත වූ චම්පිකගේ සෞඛ්‍ය ගැන අධිකරණය වාර්තාවක් කැඳවයි

Published

on

By

රාජගිරිය ප්‍රදේශයේ දී රිය අනතූරක් සිදුකොට යතුරු පැදියකින් ගමන් කළ තරුණයෙකු අනතූරට පත් කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින සමගි ජනබලවේගයේ කොළඹ දිස්ත්‍රික් පා.ම. හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව පරීක්ෂාකර සවිස්තර වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කොළඹ මහාධිකරණය විසින් කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරියා වෙත නියෝග කර ඇත.

ඒ රාජගිරිය ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරට අදාළව ව්‍යාජ සාක්ෂි නිර්මාණය කිරීම හා සාක්ෂි වසන් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහි නඩුව ජනවාරි 11 දින කැඳවනු ලැබූ අවස්ථාවේ දී විත්තිකාර හිටපු අමාත්‍යවරයා අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා මෙම නියෝගය නිකුත් කර ඇත.

2016 පෙබරවාරි 29 වනදා රාජගිරියේදී අපරික්ෂාකාරි ලෙස රිය පදවා තරුණයෙකු අනතුරකට ලක්කිරීමේ සිද්ධියට අදාළව ව්‍යාජ සාක්ෂි නිර්මාණය කිරීම හා සාක්ෂි වසන්කිරීම සම්බන්ධයෙන් තමන්ට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ ගොනුකර ඇති නඩුවේ විභාගය අත්හිටුවන්නැයි පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලි චම්පික රණවක මහතා අභියාචනාධිකරණය හමුවේ ප්‍රතිශෝධන පෙත්සමක් ද ගොනුකර ඇති අතර අදාළ පෙත්සම ජනවාරි 10 දින සලකා බැලු අවස්ථාවේදී ජනවාරි 11 දිනට නියමිතව තිබු මහාධිකරණ නඩු විභාගය අත්හිටුවීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස පාඨලි චම්පික රණවක මහතාගේ නීතිඥයින් ඉල්ලීමක් කළ ද, අභියාචනාධිකරණය එය ප්‍රතික්ෂේප කර තිබුණි.

Giraya News Alerts

ඒ අනුව, අදාළ නඩුවේ හරස් ප්‍රශ්න විමසීම් ජනවාරි 11 දින කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා ඉදිරියේ දී ආරම්භ කිරීමට නියමිතව තිබුණද විත්තිකාර පාඨලි චම්පික රණවක මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා කියා සිටියේ සිය සේවාදායකයා අසනීප තත්ත්වයක් හේතුවෙන් කොළඹ ලංකා පෞද්ගලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බවයි.

“ස්වාමිනි, මගේ සේවාදායකයා අසනීප තත්ත්වයක් හේතුවෙන් ඊයේ රාත්‍රී කොළඹ ලංකා රෝහලට ඇතුළත් කර තිබෙනවා. වකුගඩු අමාරුව, හුස්ම ගැනීමේ අපහසුතාව සහ පපුවේ වේදනාව හේතුවෙන් ඔහු රෝහල් ගත කර ඇති බවයි මාහට උපදෙස් ලැබී තිබෙන්නේ. ඒ සම්බන්ධ විශේෂඥ වෛද්‍ය ප්‍රියංකර ජයවර්ධන මහතා, නිකුත් කළ වාර්තාවක් මම අධිකරණයට ඉදිරිපත් කරනවා.”

එම කරුණු දැක්වීමට කිසිසේත් එකඟවිය නොහැකි බව සඳහන් කළ පැමිණිල්ලේ නීතිඥ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරිස් මහතා අධිකරණය හමුවේ කරුණු දැක්වීය.

“ස්වාමිනි. මේ ඉදිරිපත් කළ කරුණු පිළිගන්න බැහැ. මොකද මෙම නඩු විභාගය අත්හිටුවන ලෙස ඉල්ලා විත්තිකාර පාඨලි චම්පික රණවක ඊයේ අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබුණා. එම පෙත්සම විභාගයට ගත් අවස්ථාවේ ඊයේ පස්වරු 1.30ට පමණ මෙම විත්තිකරු උපරිමාධිකරණ සංකීර්ණය අසළ ගැවසී තිබෙනවා. එම පෙත්සමේ නියෝගය ලබන 24 වනදා ප්‍රකාශයට පත්කිරීමට නියමිතයි. එසේ තිබියදී මෙම නඩු විභාගය කල් දමා ගැනීමේ අරමුණින් තමයි විත්තිකරු මෙම ක්‍රියාව අද සිදුකර තිබෙන්නේ. සාක්ෂිකරුවන්ට සාක්ෂි අමතක වන තුරු නඩු විභාගය කල් දමා ගැනීම තමයි ඔහුගේ අරමුණ. මේක බරපතළ තත්ත්වයක්. මෙම සිද්ධියෙන් අගතියට පත් තරුණයා අදත් රෝද පුටුවකින් අධිකරණයට පැමිණ තිබෙනවා. එහෙම තියෙද්දි ඔහුට යුක්තියක් ඉටු කිරීමට අවශ්‍ය නැද්ද? මෙවැනි ක්‍රියාවලට අධිකරණය ඉඩ දුනහොත් යුක්තිය අපගමනය වීමක් සිදුවෙනවා.”

වැඩිදුරටත් කරුණු දැක්වු නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරයා,

“ස්වාමිනි මේ කියන ලංකා රෝහල රාජිත සේනාරත්න මහතා අත්අඩංගුට ගැනීමට නියම වූ අවස්ථාවේදීත් වෛද්‍ය වාර්තා ඉදිරිපත් කළා. එම වෛද්‍ය වාර්තා ලබාගන්නවා ආකාර ගැන අපි හොඳට දන්නවා. ඒ නිසා මේ සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙස මා ඉල්ලා සිටිනවා”

එහිදී මන්ත්‍රී රණවක මහතාගේ වෛද්‍ය වාර්තාව පරීක්ෂා කළ කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා පැවසුවේ වෛද්‍ය වාර්තාව අත්අකුරින් ලියා ඇති බැවින් රෝගී තත්ත්වයන් සහ එහි බලපෑම පිළිබඳව පැහැදිලිව වටහාගත ගැනීම අපහසු බවය.

අනතුරුව නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේ වෛද්‍ය වාර්තාව ලබාදී ඇති විශේෂඥ වෛද්‍යවරයාගෙන් ප්‍රකාශයක් සටහන් කරගන්නා ලෙස කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා වෙත නියෝගයක් නිකුත් කරන ලෙසය.

එමෙන්ම, රණවක මහතා රෝහල් ගත කෙරුණේ කවදාද ? රෝහල්ගත කළ වේලාව ඇතුළු කරුණු සම්බන්ධයෙන් පුර්ණ විමර්ශනයක් පවත්වා වාර්තාවක් අධිකරණයට ඉදිරිපත්කරන ලෙස කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා වෙත නියෝගයක් නිකුත් කරන්නැයි ද නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

එම ඉල්ලීම් පිළිගත් විනිසුරු දමිත් තොටවත්ත මහතා චම්පික රණවක මහතාගේ රෝගී තත්ත්වය පිළිබඳව පරීක්ෂාකර සවිස්තර වාර්තාවක් ඉදිරිපත් කරන්නැයි කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරියාට නියෝග කළේය.

එමෙන්ම අද දින අධිකරණයට ඉදිරිපත් කළ වාර්තාව, නිකුත් කළ වෛද්‍යවරයාගෙන් ප්‍රකාශයක් සටහන් කරගෙන ඒ ඔස්සේ සිද්ධිය පිළිබඳව පරීක්ෂණයක් පවත්වා, වාර්තාවක් ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස විනිසුරුවරයා කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයාට ද නියෝගයක් නිකුත් කරනු ලැබීය. මෙම නඩුව ලබන 21 දා තෙක් කල් තබනු ලැබීය.

එසේම, කායික රෝග විශේෂඥ වෛද්‍ය ප්‍රියංකර ජයවර්ධන මහතා නීතිඥ රවී ජයවර්ධන මහතාගේ සොහොයුරෙකි. නීතිඥ රවී ජයවර්ධන මහතා සමගි ජනබලවේගය සමග හා චම්පික රණවක මහතා සමග සමීපව දේශපාලන කටයුතු සිදු කරන සමගි ජනබලවේගයේ ප්‍රබල ක්‍රියාකාරිකයෙකු වන අතර යහපාලන සමයේ ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ හිටපු සභාපතිවරයෙකු හා වත්මන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ලේකම්වරයෙකු ලෙස කටයුතු කරයි.

Continue Reading

NEWS

අසාද් සාලි නිදොස් කොට නිදහස්, මුසම්මිල් ඇතුළු පැමිණිලිකරුවන්ට නොතීසි

Published

on

By

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සහ එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත යටතේ වූ චෝදනා මත අත්අඩංගුවට ගෙන මාස 8කට අධික කාලයක් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි බස්නාහිර පළාතේ හිටපු ආණ්ඩුකාර අසාද් සාලි සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරන ලෙස කොළඹ මහාධිකරණය නියම කළේය.

දෙසැම්බර් 02 දින කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා විසින් එම තීන්දුව ලබා දී ඇත.

තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරුවරයා පවසා ඇත්තේ “විත්තිකරු විසින් ජාතීන් හෝ ආගම්වලට පවතින සංහිඳියාව බිදී යන ආකාරයෙන් හා ජනතාව අතර ක්‍රෝධය වර්ධනය වන ආකාරයෙන් ප්‍රකාශ සිදුකර ඇති බව” ඔප්පු කිරීමට පැමිණිලිකරුවන් අසමත් වී ඇති බවයි.

Giraya News Alerts

ඒ අනුව සියලු කරුණු සළකා බැලීමෙන් අනතුරුව විත්තිකරුට එරෙහි චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු කිරීමට පැමිණිල්ල අසමත් වී ඇති බැවින් විත්තිකාර අසාද් සාලි සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමට විනිසුරුවරයා තීන්දු කළේය.

ප්‍රශ්නගත ප්‍රකාශය මෙසේය.

“අපේ නීතිය අපිට.. ඔයගොල්ලන්ගේ නීතිය ඔයගොල්ලන්ට.. ඒවා හරි වැරදි බලන්නේ අපි.. කුරානයයි, හදිසියයි, ශර්යාවයි අපේ නීතිය නම් අපි ඒකට ගරු කරනවා මිසක් රජයේ නීතිය බලන්නේ නැහැ. කුරානයයි, නබිතුමාගේ හදිසියයි හැරෙන්නට වෙන නීතියක් අපට නැහැ”

2021 මාර්තු මස 09 දින කොළඹ දී පැවති මාධ්‍ය සාකච්ඡාවක් අතරතුර අසාද් සාලි මහතා විසින් ඉහත ප්‍රකාශය සිදුකර තිබූ බව නීතිපතිවරයා විසින් අසාද් සාලි මහතාට එරෙහිව ගොනුකළ අධි චෝදනා පත්‍රයේ සඳහන් කොට තිබුණි.

සිය සේවාදායකයා විසින් එකී මාධ්‍ය සාකච්ඡුාව පැවැත්වූ බව හා එකී ප‍්‍රකාශ සිදුකළ බව පිළිගන්නා නමුත් ඔහු කළ ප‍්‍රකාශ විකෘති කොට මාධ්‍ය මගින් ප‍්‍රචාරය කිරීම නිසා ඔහුට රක්‍ෂිත බන්ධනාගාර භාරයේ සහ රැඳවුම් නියෝග මත සිටීමට සිදුවී ඇති බව විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මෛත‍්‍රී ගුණරත්න මහතා අධිකරණයට පෙන්වා දුන්නේය.

ඒ අනුව, උක්ත ප්‍රකාශය තුළින් ආගමික කණ්ඩායම් අතර එදිරිවාදිකම් උත්සන්න කිරීමට ක්‍රියා කිරීම තුළින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සහ එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත යටතේ චෝදනා එල්ලකොට අසාත් සාලි මහතාට එරෙහිව චෝදනා දෙකක් යටතේ නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ එම අධිචෝදනා ගොනු කර තිබුණි.

නීතිපතිවරයා වෙනුවෙන් අධිකරණය හමුවේ පෙනී සිටියේ ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ වසන්ත පෙරේරා මහතා යි.

අසාද් සාලි අත්අඩංගුවට පත්වන අවස්ථාව වන විට නීතිපතිවරයා ලෙස කටයුතු කරනු ලැබුවේ ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා වන අතර 2021 මැයි 26 වන දින සිට නීතිපති ධූරයේ කටයුතු කරනු ලබන්නේ ජනාධිපති නීතිඥ සංජය රාජරත්නම් මහතා යි.

මේ අතර අසාත් සාලි මහතාට එරෙහිව පැමිණිලි කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මොහොමඩ් මුසම්මිල්, නිමල් පියතිස්ස සහ ජයනන්ද වැල්ලබඩ යන අයට එරෙහිව එලෙස නොතීසි නිකුත් කරමින් මහාධිකරණය නියෝග කොට ඇත්තේ පෙබරවාරි මස 21 දින කොළඹ මහාධිකරණය හමුවේ පෙනී සිටින ලෙසයි.

විත්තිකාර අසාත් සාලි මහතා නිදොස් කොට නිදහස් කිරීමේ තීන්දුව ප්‍රකාශයට පත්වීමෙන් පසුව ඔහු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා අධිකරණය හමුවේ ප්‍රකාශයක් කරමින් ඉල්ලා සිටියේ එම නඩුවේ පැමිණිලිකාර පාර්ලිමේන්තු මන්ත්‍රීවරු තුන්දෙනා තම සේවාදායකයාට එරෙහිව ද්වේශසහගත පැමිණිල්ලක් ඉදිරිපත් කොට ඇති බැවින් ඊට එරෙහිව අපරාධ නඩු විධාන සංග්‍රහයේ 17(2) වගන්තිය යටතේ වන්දි අයකර දෙන නියෝගයක් නිකුත් කරන ලෙසයි.

ඒ අනුව, අදාළ ඉල්ලීම සලකා බැලීම සඳහා අදාළ නඩුව යළිත් පෙබරවාරි මස 21 දින කැඳවීමට නියම කළ මහාධිකරණ විනිසුරුවරයා එදින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස පැමිණිලිකාර පාර්ලිමේන්තු මන්ත්‍රීවරු තුන්දෙනා වෙත නොතීසි නිකුත් කළේය.

රිවිර

Continue Reading

Trending

Copyright © 2016 Giraya News. Powered by Digital Hub