ඩොලර් නොමැති වීම හේතුවෙන් මෙවර හජ් වන්දනාව සඳහා මෙරට මුස්ලිම්වරුන් සහභාගී නොකර සිටීමට මෙරට හජ් වන්දනා කමිටුව තීරණය කර ඇති බව පසුගිය සතියේ වාර්තා කෙරුණි.
නමුත් මේ වනවිට වාර්තා වන්නේ ඊට අවශ්‍ය ඩොලර් ප්‍රමාණය සොයාගෙන ඇති බවයි. ඒ අනුව ශ්‍රී ලංකාවට අනුමත වී ඇති වන්දනාකරුවන් 1585 දෙනාම ඊට සහභාගී කරවීමට තීරණය කර තිබේ.
එම තීරණයට එළඹ ඇත්තේ ජාතික හජ් කමිටුව, හජ් සංචාරක සංවිධානය, මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව ඇතුළු පාර්ශව කිහිපයක් අතර පැවැති සාකච්ඡාවකින් අනතුරුව යි.
එම සංචාරය සඳහා අවශ්‍ය අවම ඩොලර් ප්‍රමාණය ඩොලර් මිලියන 6.3ක් බව මීට පෙර වාර්තා කර තිබුණි. ඒ අනුව, එක් වන්දනාකරුවකු වෙනුවෙන් අවම වශයෙන් ඩොලර් 4000 සිට 6000 ක ප්‍රමාණයක් වැය වෙතැයි ගණන් බලා ඇත. මෙය ආසන්න වශයෙන් රුපියල් බිලියන 2.3කට අධිකයි.
ශ්‍රී ලාංකික වන්දනාකරුවන්ගේ සම්පූර්ණ හජ් මෙහෙයුම සඳහා ඩොලර් මිලියන 10 ක් පමණ වැය වන බවත් එය රටේ වත්මන් ආර්ථික තත්ත්වය හා සසඳන විට විශාල මුදලක් බවයි ශ්‍රී ලංකා මුස්ලිම් ආගමික කටයුතු දෙපාර්තමේන්තුව යටතේ ඇති ජාතික හජ් කමිටුවේ සභාපති අහ්කාම් උවයිස් මීට පෙර සඳහන් කර තිබුණා. ඒ අනුව, ඔහු පවසා තිබුණේ මෙවර හජ් වන්දනාව අත්හැරීමට ත්‍යාගශීලී වූ බවයි. ඒ අනුව රට වෙනුවෙන් තම වන්දනාව කැප කිරීමට මුස්ලිම් ප්‍රජාවේ සාමාජිකයින් විසින් තීරණය කළ බවයි.