Advertise with Giraya
POLITICS

ජනාධිපති ඉල්ලා අස්වීම ස්ථිරයි, ඉතිරි ධූර කාලය සඳහා නම් කිහිපයක් සාකච්ඡා මට්ටමේ

2019 ජනාධිපතිවරණයෙන් සියයට 52.25ක් වූ 69 ලක්ෂයකට අධික ජනතා ඡන්දයකින් ශ්‍රී ලංකාවේ හත්වැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත් වූ ගෝඨාභය රාජපක්ෂගේ පළමු වසර දෙකහාමාරක් ඇතුළත මෙරට ආර්ථිකය ලැබූ විශාල පසුබැස්මත් සමග දැඩි ජනතා අප්‍රසාදයකට ලක්වීමට ඔහුට සිදුවිය. ඒ සමග ඇති වූ විරෝධතා ව්‍යාපාරයේ ප්‍රබලම සන්ධිස්ථානය ජූලි 09 වැනිදා “රටම කොළඹට” තේමාව යටතේ දියත් කෙරුණු අතර එහි ප්‍රතිඵලයක් ලෙස සිය ධූරයට සමුදීමට ගෝඨාභය රාජපක්ෂ තීරණය කර තිබෙනවා. තම තීරණය කතානායකවරයාට ලිඛිතව ලබා දී ඇති ජූලි 13 වැනිදා සිය ධූරයෙන් ඉල්ලා අස්වී නික්ම යාමට වත්මන් ජනාධිපතිවරයා තීරණය කර තිබෙනවා.

ඒ අනුව, මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව, ජනාධිපතිවරයාගේ ඉල්ලා අස්වීමත් සමග ධූරය හිස්වුවහොත් අග්‍රාමාත්‍යවරයා වහාම ජනාධිපතිධූරයේ වැඩ බැලීම සඳහා පත්කරගත යුතුවේ. නමුත් පවතින දැවැන්ත ජනතා විරෝධයත් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගෙන් තිබෙන විරෝධයත් හමුවේ අග්‍රාමාත්‍යවරයාට ද ඉල්ලා අස්වීමට සිදුව තිබෙනවා. ඊට මේ වනවිට සිය කැමැත්ත පළ කර ඇති අග්‍රාමාත්‍යවරයා පවසා ඇත්තේ නව ආණ්ඩුවක් පිහිටුවීම සඳහා ධූරයෙන් ඉවත් වීමට තමන් සූදානම් බවයි.

හිස්වන ජනාධිපතිධූරය සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ඇති මීළඟ පියවර වන්නේ කතානායකවරයා වැඩ බලන ජනාධිපතිවරයා ලෙස පත්කරගැනීමයි. එවැනි යෝජනාවක් මේ වනවිටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු කණ්ඩායම් කිහිපයක් විසින් යෝජනා කර තිබෙනවා. නමුත් කතානායකවරයා වැඩ බලන ජනාධිපතිවරයා ලෙස පත්කරගැනීම සඳහා අග්‍රාමාත්‍යධූරය හිස්ව තිබීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව අත්‍යවශ්‍ය වේ.

කෙසේ වෙතත් වැඩ බලන ජනාධිපතිවරයෙකු පත් කළ දින සිට මාසයක් ඇතුළත් පාර්ලිමේන්තුවේ පවත්වන රහස් ඡන්දයකින් ජනාධිපතිවරයාගේ ඉතිරි ධූරකාලය සඳහා මන්ත්‍රීවරයෙකු තෝරගත යුතුයි. මේ වනවිට ලැබෙන දේශපාලන ආරංචි මාර්ග අනුව, මන්ත්‍රීවරයන් කිහිප දෙනෙකුගේ නම් දේශපාලන කණ්ඩායම් අතර සාකච්ඡා වන බව වාර්තා වේ. ඒ අතර, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, පාඨලී චම්පික රණවක, සරත් ෆොන්සේකා, අනුර කුමාර දිසානායක ඇතුළු පිරිසකගේ නම් යෝජනා වෙමින් පවතින බව එම වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Giraya News Alerts

Trending

පුවත් ලෙලි ගසා සත්‍ය දැනගන්න

Copyright © 2016 Giraya News. Powered by Digital Hub

To Top