Advertise with Giraya
NEWS

දැනට ඩලස් ඉදිරියෙන්, ඩලස් වට්ටන්න බැසිල් සාගරට සම්පූර්ණ බලය පවරයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම, ජනාධිපතිධූරය සඳහා තරඟ කිරීමට ඉදිරි වන බව ජූලි 15 වැනිදා නිල වශයෙන් නිවේදනය කළේය. ඒ සමගම කලබලය පත් වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම්, ජාතික ලැයිස්තු මන්ත්‍රී සාගර කාරියවසම් නිවේදනය කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ජනාධිපතිධූරය සඳහා කිසිවෙක් ඉදිරිපත් නොකරන බවයි. එබැවින් ඩලස් අලහප්පෙරුම පක්ෂයේ තීරණයට එරෙහිව ඉදිරිපත් වී ඇති බැවින් තම පක්ෂය වැඩ බලන ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහය පළ කරන බව මාධ්‍ය වෙත ප්‍රකාශ කළේය.

ඩලස් – බැසිල් අන්දරය

මෙරට දේශපාලනය තුළ ප්‍රසිද්ධම දේශපාලන වෛරයක් ඇත්තේ ඩලස් අලහප්පෙරුම සහ බැසිල් රාජපක්ෂ අතරයි. එකම කඳවුරේ දේශපාලන කරන දෙදෙනෙකු අතර මෙම විරසකය පවතින්නේ දශක කිහිපයක සිටයි. නමුත් මහින්ද රාජපක්ෂ සමග කිට්ටු සම්බන්ධතාවය පවතින ඩලස් අලහප්පෙරුම විමල් වීරවංශ ඇතුළු පිරිස ආණ්ඩුවෙන් ඉවත් කිරීමත් සමග පොහොට්ටු ආණ්ඩුවට දෙහි කැපීමට පටන් ගත්තේය. ඒ අනුව, ඩලස් අලහප්පෙරුම විමල්-ගම්මන්පිල කණ්ඩායම සමග නැවුම් දේශපාලන කඳවුරක් නිර්මාණය කිරීම පසුගිය මාස කිහිපය තුළ සිදුවිය. මේ සමගම ඩලස් – මහින්ද සම්බන්ධතාවය ද දෙදෙරා ගොස් ඇති බව දේශපාලන ආරංචි අනාවරණය කර තිබුණා.

ඩලස්ගේ නායකත්වයෙන් නව කඳවුරක්

මෙවැනි පසුබිමක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ස්වාධීන වූ කණ්ඩායම, විමල්-ගම්මන්පිල ඇතුළු පක්ෂ 10 කණ්ඩායම සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඩලස් අලහප්පෙරුමගේ නායකත්වයෙන් යළි සංවිධානය වෙමින් සිටි පසුබිමක ජනාධිපතිවරයා ධූරයෙන් ඉල්ලා අස්වීමත් සමග හිස් වූ ජනාධිපතිධූරය සඳහා ඉදිරිපත් වීමට තීරණය කර ඇත. එය නිල වශයෙන් නිවේදනය කිරීමත් සමග එතෙක් නිහැඩියාවක සිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නිවේදනය කළේ තමන් රනිල් වික්‍රමසිංහට සහය පළ කරන බවත් ඩලස් අලහප්පෙරුම පක්ෂයේ තීරණයට පිටින් ගොස් ඇති බව දැනගන්නට ලැබුණු බවත් ය.

මේ සම්බන්ධයෙන් සොයා බැලීමේ දී වාර්තා වූයේ එම තීරණය පක්ෂ මහලේකම්වරයා පක්ෂයේ ජාතික සංවිධායකවරයාගෙන් පමණක් විමසා ගත් තීරණයක් බවයි. ආරංචි මාර්ග සඳහන් කළේ එහිදී මහලේකම්වරයාට ලැබී ඇති උපදෙස වී ඇත්තේ අවශ්‍ය ඕනෑම යමක් සිදුකර ඩලස්ව පරාජය කිරීමට පියවර ගන්නා ලෙසයි.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනෙකුත් ප්‍රධානීන් දැනුවත් කර නොතිබීම හා ඔවුන්ගේ එකඟත්වය ගෙන නොතිබීමෙන් පක්ෂය අභ්‍යන්තරයේ විශාල අර්බුදයක් නිර්මාණය වෙමින් තිබෙනවා. මාධ්‍ය වෙත අදහස් දක්වමින් පක්ෂයේ සභාපති මහාචාර්ය ජීඇල් පීරිස් සඳහන් කර ඇත්තේ පක්ෂයේ සාමාජිකයෙකු වූ ඩලස් අලහප්පෙරුම තමන් ඉදිරිපත් වන බව දැනුම් දී ඇති බැවින් ඔහුට සහය පළ කිරීම පක්ෂයේ තීරණය විය යුතු බවයි. පක්ෂයේ නියෝජිතයෙකු ඉදිරිපත්ව සිටින විට වෙනත් අයෙකුට සහය දීමට පක්ෂය කටයුතු නොකළ යුතු බව ද ඔහු අවධාරණය කර තිබෙනවා.

මේ අතර ප්‍රකාශයක් කරමින් එම පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මධූර විතාන පවසන්නේ රනිල් වික්‍රමසිංහට සහය පළ කිරීම පක්ෂයේ පොදු තීරණයක් නොවන බවත් එය මහලේකම්වරයාගේ පුද්ගලික තීරණයක් පමණක් බවත් ය.

දැනට ඩලස් ඉදිරියෙන්

කෙසේ වෙතත් මේ වනවිට ලැබී ඇති තොරතුරු අනුව ඩලස් අලහප්පෙරුමට සහය පළ කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරුන් 75 දෙනෙකු තහවුරු කර ඇති බව දේශපාලන ආරංචි මාර්ග පෙන්වා දෙයි. ඊට අමතරව විමල් ගම්මන්පිල කණ්ඩායමේ මන්ත්‍රීවරුන් 14 දෙනෙකු සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු 8 දෙනෙකු ද ඔහුට සහය පළ කරන බව ප්‍රකාශ කර ඇතැයි දැනගන්නට ඇත. ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරී පත්ව සිටින 97 දෙනෙකුගේ සහය ඩලස් අලහප්පෙරුමට ලබාදෙන බව තහවුරු කර ඇතැයි විශ්වාසදායක ආරංචි මාර්ග අනාවරණය කර තිබෙනවා. මේ අතර ඩලස් අලහප්පරුමට සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් ද සහය පළ කිරීමට සාකච්ඡාවක් පවතින ඒ සජිත් ප්‍රේමදාස අගමැතිධූරයට පත් කිරීමේ එකඟතාවය මතයි. දෙමළ ජාතික සන්ධානය ද බොහෝදුරට ඩලස් අලහප්පෙරුමට සහය පළ කිරීමට ඉඩ ඇති බව එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග අනාවරණය කර සිටියා. ඒ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ඇතුළු කොන්දේසි කිහිපයකට යටත්වයි.

මේ අතර, ඩලස් අලහප්පෙරුම සිය ආණ්ඩුවේ අගමැතිධූරයට පත් කිරීමට දැනටමත් යෝජනා කර ඇත්තේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසවයි. නමුත් මේ වනවිට සජිත් ප්‍රේමදාස ද ජනාධිපතිධූරය සඳහා තරඟ කරන බව ප්‍රකාශ කර ඇති අතර ඔහුට මේ වනවිට 65 දෙනෙකු සහය පළ කරන සමගි ජනබලවේගයේ මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල සඳහන් කළා.

දැනට වාර්තා වන තොරතුරු අනුව රනිල් වික්‍රමසිංහට සහය පළ කිරීම සඳහා ඉදිරිපත්ව ඇත්තේ බැසිල් රාජපක්ෂට හිතවත් මන්ත්‍රීවරු 35 දෙනෙකු පමණයි.

මෙම ඡන්ද විමසීමේ දී ජාතික ජනබලවේගය සහ මන්ත්‍රීවරු කිහිප දෙනෙකු ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටීමේ සූදානමක් ද පවතිනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Giraya News Alerts

Trending

පුවත් ලෙලි ගසා සත්‍ය දැනගන්න

Copyright © 2016 Giraya News. Powered by Digital Hub

To Top