Connect with us
Advertise with Giraya

POLITICS

කල් පැනපු පාර්ලිමේන්තු වෙනුවට නව ජනවරමක් ලබාගමු – අනුර දිසානායක

Published

on

රාජපක්ෂ පවුල් පාලනයට බියවී ද, තවත් විටෙක සංත්‍රාසයට පත්වීමෙන් ද බලා සිටි ජනතාව 2015 දී එම පවුල් පාලනයපරාද කරන විට තිබුණාට වඩා විශාල පවුල් බලයක් 2019 දී ලබාගනිමින් බලයට පැමිණීමෙන් පසු නිවට නියාලු ලෙස සියල්ල ඉවසා වදාරාගෙන සිටීවි යැයි පාලකයන් කල්පනා කළ ද ජනතාව ඔවුන් පලවා හැරිය බව ජනතා විමුක්ති පෙරමුණේ අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළේය. රට තුළ පුරවැසි පාලනයක් ස්ථාපිත කළ යුතු බවයි ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේ.

මහරගම තරුණ සේවා සභාවේ පැවැති සම්මන්ත්‍රණයකට සහභාගී වෙමින් ජූලි 24 වැනිදා පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මේ බව සඳහන් කළේය.

“2019 බලයට පැමිණීමෙන් පසු රාජපක්ෂ පවුල් පාලනය කල්පනා කළේ තමන් ව්‍යවස්ථාව ඇතුළේ, හමුදාව ඇතුළේ සහ නවීන අවි ආයුදවලින් සන්නද්ධ වීම ඇතුළේ බලය ආරක්ෂා කරගතහැකි බව. එහෙත් අවසානයේදී ජනතාව තමන් සතුව තිබුනු තේරුම් නොගත් මහා බලය උපයෝගී කරගෙන ඕනෑම බලකඳුවරක් සමග හැප්පී සුනු විසිණු කර දැමූ බව භාවිතයෙන්ම ඔප්පු කළා.”

Giraya News Alerts

“අපේ රටේ තියෙන ආර්ථිකය අනුව ණය ලැබෙනවා කියලා නැවත සහතිකයක් හදන්න බෑ. හිතන්න බැරි ඇයි දැනටමත් ගත්තු ඒවා දෙන්නේ නෑ කියලා තීරණය අරන් ඉවරයි මාර්තු මාසේ 31 වනදා ඉඳලා. හැම රටක්ම මෙවැනි අර්බුදවලදී ගොඩ ගියේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල හෝ තවත් විදේශීය රටක් කවර රටක්වත් ගොඩ අරන් නෑ. හැම කඩා වැටුණු රටක්ම ගොඩ ගියේ ඒ රටේ සක්‍යතාවයෙන්. උදව් ගන්නවා කියන එකයි, රටක් ගොඩ දානවා කියන එකයි දෙකක්. මේ ඇති වී තිබෙන අර්බුදය අපිට හරි පැහැදිලියි. විශේෂ ජනතා නැඟිටීමක් තිබුණා. ජනතා නැඟිටීමේ යම් ප්‍රතිඵලදායක තියෙනවා. හැබැයි මෙතැනින් එහා තව ශක්තිමත් තැනකට අපි යන්න ඕනේ. පුරවැසි පාලනයක් අපේ රටේ නිර්මාණය කරන එක යන යහපත් ප්‍රතිසංස්කරණය කරන්නේ, ජාතික ජන බලවේගය මේ සටන අරන්. මේ රටේ කඩා වැටිලා තියෙන ආර්ථිකය ඉස්සරහට ගෙනල්ලා, ඉදිරියට ගෙන යෑමේ සැලසුම්, දැක්ම හා උවමනාවක් තියෙන්නේ ජාතික ජන බලවේගයට. ඒ නිසා මේ කල් පැනපු පාර්ලිමේන්තුව වෙනුවට නව ජනවරමක් සඳහා සටන අපි දියත් කරමු.”

NEWS

දැනට ඩලස් ඉදිරියෙන්, ඩලස් වට්ටන්න බැසිල් සාගරට සම්පූර්ණ බලය පවරයි

Published

on

By

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම, ජනාධිපතිධූරය සඳහා තරඟ කිරීමට ඉදිරි වන බව ජූලි 15 වැනිදා නිල වශයෙන් නිවේදනය කළේය. ඒ සමගම කලබලය පත් වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම්, ජාතික ලැයිස්තු මන්ත්‍රී සාගර කාරියවසම් නිවේදනය කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ජනාධිපතිධූරය සඳහා කිසිවෙක් ඉදිරිපත් නොකරන බවයි. එබැවින් ඩලස් අලහප්පෙරුම පක්ෂයේ තීරණයට එරෙහිව ඉදිරිපත් වී ඇති බැවින් තම පක්ෂය වැඩ බලන ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහය පළ කරන බව මාධ්‍ය වෙත ප්‍රකාශ කළේය.

ඩලස් – බැසිල් අන්දරය

මෙරට දේශපාලනය තුළ ප්‍රසිද්ධම දේශපාලන වෛරයක් ඇත්තේ ඩලස් අලහප්පෙරුම සහ බැසිල් රාජපක්ෂ අතරයි. එකම කඳවුරේ දේශපාලන කරන දෙදෙනෙකු අතර මෙම විරසකය පවතින්නේ දශක කිහිපයක සිටයි. නමුත් මහින්ද රාජපක්ෂ සමග කිට්ටු සම්බන්ධතාවය පවතින ඩලස් අලහප්පෙරුම විමල් වීරවංශ ඇතුළු පිරිස ආණ්ඩුවෙන් ඉවත් කිරීමත් සමග පොහොට්ටු ආණ්ඩුවට දෙහි කැපීමට පටන් ගත්තේය. ඒ අනුව, ඩලස් අලහප්පෙරුම විමල්-ගම්මන්පිල කණ්ඩායම සමග නැවුම් දේශපාලන කඳවුරක් නිර්මාණය කිරීම පසුගිය මාස කිහිපය තුළ සිදුවිය. මේ සමගම ඩලස් – මහින්ද සම්බන්ධතාවය ද දෙදෙරා ගොස් ඇති බව දේශපාලන ආරංචි අනාවරණය කර තිබුණා.

Giraya News Alerts

ඩලස්ගේ නායකත්වයෙන් නව කඳවුරක්

මෙවැනි පසුබිමක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ස්වාධීන වූ කණ්ඩායම, විමල්-ගම්මන්පිල ඇතුළු පක්ෂ 10 කණ්ඩායම සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඩලස් අලහප්පෙරුමගේ නායකත්වයෙන් යළි සංවිධානය වෙමින් සිටි පසුබිමක ජනාධිපතිවරයා ධූරයෙන් ඉල්ලා අස්වීමත් සමග හිස් වූ ජනාධිපතිධූරය සඳහා ඉදිරිපත් වීමට තීරණය කර ඇත. එය නිල වශයෙන් නිවේදනය කිරීමත් සමග එතෙක් නිහැඩියාවක සිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නිවේදනය කළේ තමන් රනිල් වික්‍රමසිංහට සහය පළ කරන බවත් ඩලස් අලහප්පෙරුම පක්ෂයේ තීරණයට පිටින් ගොස් ඇති බව දැනගන්නට ලැබුණු බවත් ය.

මේ සම්බන්ධයෙන් සොයා බැලීමේ දී වාර්තා වූයේ එම තීරණය පක්ෂ මහලේකම්වරයා පක්ෂයේ ජාතික සංවිධායකවරයාගෙන් පමණක් විමසා ගත් තීරණයක් බවයි. ආරංචි මාර්ග සඳහන් කළේ එහිදී මහලේකම්වරයාට ලැබී ඇති උපදෙස වී ඇත්තේ අවශ්‍ය ඕනෑම යමක් සිදුකර ඩලස්ව පරාජය කිරීමට පියවර ගන්නා ලෙසයි.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනෙකුත් ප්‍රධානීන් දැනුවත් කර නොතිබීම හා ඔවුන්ගේ එකඟත්වය ගෙන නොතිබීමෙන් පක්ෂය අභ්‍යන්තරයේ විශාල අර්බුදයක් නිර්මාණය වෙමින් තිබෙනවා. මාධ්‍ය වෙත අදහස් දක්වමින් පක්ෂයේ සභාපති මහාචාර්ය ජීඇල් පීරිස් සඳහන් කර ඇත්තේ පක්ෂයේ සාමාජිකයෙකු වූ ඩලස් අලහප්පෙරුම තමන් ඉදිරිපත් වන බව දැනුම් දී ඇති බැවින් ඔහුට සහය පළ කිරීම පක්ෂයේ තීරණය විය යුතු බවයි. පක්ෂයේ නියෝජිතයෙකු ඉදිරිපත්ව සිටින විට වෙනත් අයෙකුට සහය දීමට පක්ෂය කටයුතු නොකළ යුතු බව ද ඔහු අවධාරණය කර තිබෙනවා.

මේ අතර ප්‍රකාශයක් කරමින් එම පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මධූර විතාන පවසන්නේ රනිල් වික්‍රමසිංහට සහය පළ කිරීම පක්ෂයේ පොදු තීරණයක් නොවන බවත් එය මහලේකම්වරයාගේ පුද්ගලික තීරණයක් පමණක් බවත් ය.

දැනට ඩලස් ඉදිරියෙන්

කෙසේ වෙතත් මේ වනවිට ලැබී ඇති තොරතුරු අනුව ඩලස් අලහප්පෙරුමට සහය පළ කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරුන් 75 දෙනෙකු තහවුරු කර ඇති බව දේශපාලන ආරංචි මාර්ග පෙන්වා දෙයි. ඊට අමතරව විමල් ගම්මන්පිල කණ්ඩායමේ මන්ත්‍රීවරුන් 14 දෙනෙකු සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු 8 දෙනෙකු ද ඔහුට සහය පළ කරන බව ප්‍රකාශ කර ඇතැයි දැනගන්නට ඇත. ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරී පත්ව සිටින 97 දෙනෙකුගේ සහය ඩලස් අලහප්පෙරුමට ලබාදෙන බව තහවුරු කර ඇතැයි විශ්වාසදායක ආරංචි මාර්ග අනාවරණය කර තිබෙනවා. මේ අතර ඩලස් අලහප්පරුමට සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් ද සහය පළ කිරීමට සාකච්ඡාවක් පවතින ඒ සජිත් ප්‍රේමදාස අගමැතිධූරයට පත් කිරීමේ එකඟතාවය මතයි. දෙමළ ජාතික සන්ධානය ද බොහෝදුරට ඩලස් අලහප්පෙරුමට සහය පළ කිරීමට ඉඩ ඇති බව එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග අනාවරණය කර සිටියා. ඒ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ඇතුළු කොන්දේසි කිහිපයකට යටත්වයි.

මේ අතර, ඩලස් අලහප්පෙරුම සිය ආණ්ඩුවේ අගමැතිධූරයට පත් කිරීමට දැනටමත් යෝජනා කර ඇත්තේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසවයි. නමුත් මේ වනවිට සජිත් ප්‍රේමදාස ද ජනාධිපතිධූරය සඳහා තරඟ කරන බව ප්‍රකාශ කර ඇති අතර ඔහුට මේ වනවිට 65 දෙනෙකු සහය පළ කරන සමගි ජනබලවේගයේ මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල සඳහන් කළා.

දැනට වාර්තා වන තොරතුරු අනුව රනිල් වික්‍රමසිංහට සහය පළ කිරීම සඳහා ඉදිරිපත්ව ඇත්තේ බැසිල් රාජපක්ෂට හිතවත් මන්ත්‍රීවරු 35 දෙනෙකු පමණයි.

මෙම ඡන්ද විමසීමේ දී ජාතික ජනබලවේගය සහ මන්ත්‍රීවරු කිහිප දෙනෙකු ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටීමේ සූදානමක් ද පවතිනවා.

Continue Reading

POLITICS

Breaking – තමා ධූරයෙන් ඉල්ලා අස්වන බව ජනාධිපතිවරයා අගමැතිවරයාට නිල වශයෙන් දැනුම් දෙයි

Published

on

By

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිය ධූරයෙන් ඉල්ලා අස්වන බව නිල වශයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ වෙත දැනුම් දුන් බව අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය ජූලි 11 වැනිදා සඳහන් කළා.

දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ අග්‍රාමාත්‍යවරයාට ද ධූරයෙන් ඉවත් වන ලෙස ජනාධිපතිවරයා ඉල්ලා ඇති බවයි. කෙසේ නමුත් ඒ සම්බන්ධයෙන් තහවුරු කිරීමක් සිදුකිරීමට අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය කටයුතු කර නැත.

මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව, ජනාධිපතිවරයා ධූරයෙන් ඉල්ලා අස්විය යුත්තේ කතානායකවරයා අමතා යවන ලිපියකිනි. මේ වනවිට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කතානායකවරයා වෙත දැනුම් දී ඇත්තේ තමා ජූලි 13 වැනිදා අදාළ ඉල්ලා අස්වීම ලබා දෙන බවයි.

Giraya News Alerts

Continue Reading

POLITICS

ජනාධිපති ඉල්ලා අස්වීම ස්ථිරයි, ඉතිරි ධූර කාලය සඳහා නම් කිහිපයක් සාකච්ඡා මට්ටමේ

Published

on

By

2019 ජනාධිපතිවරණයෙන් සියයට 52.25ක් වූ 69 ලක්ෂයකට අධික ජනතා ඡන්දයකින් ශ්‍රී ලංකාවේ හත්වැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත් වූ ගෝඨාභය රාජපක්ෂගේ පළමු වසර දෙකහාමාරක් ඇතුළත මෙරට ආර්ථිකය ලැබූ විශාල පසුබැස්මත් සමග දැඩි ජනතා අප්‍රසාදයකට ලක්වීමට ඔහුට සිදුවිය. ඒ සමග ඇති වූ විරෝධතා ව්‍යාපාරයේ ප්‍රබලම සන්ධිස්ථානය ජූලි 09 වැනිදා “රටම කොළඹට” තේමාව යටතේ දියත් කෙරුණු අතර එහි ප්‍රතිඵලයක් ලෙස සිය ධූරයට සමුදීමට ගෝඨාභය රාජපක්ෂ තීරණය කර තිබෙනවා. තම තීරණය කතානායකවරයාට ලිඛිතව ලබා දී ඇති ජූලි 13 වැනිදා සිය ධූරයෙන් ඉල්ලා අස්වී නික්ම යාමට වත්මන් ජනාධිපතිවරයා තීරණය කර තිබෙනවා.

ඒ අනුව, මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව, ජනාධිපතිවරයාගේ ඉල්ලා අස්වීමත් සමග ධූරය හිස්වුවහොත් අග්‍රාමාත්‍යවරයා වහාම ජනාධිපතිධූරයේ වැඩ බැලීම සඳහා පත්කරගත යුතුවේ. නමුත් පවතින දැවැන්ත ජනතා විරෝධයත් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගෙන් තිබෙන විරෝධයත් හමුවේ අග්‍රාමාත්‍යවරයාට ද ඉල්ලා අස්වීමට සිදුව තිබෙනවා. ඊට මේ වනවිට සිය කැමැත්ත පළ කර ඇති අග්‍රාමාත්‍යවරයා පවසා ඇත්තේ නව ආණ්ඩුවක් පිහිටුවීම සඳහා ධූරයෙන් ඉවත් වීමට තමන් සූදානම් බවයි.

හිස්වන ජනාධිපතිධූරය සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ඇති මීළඟ පියවර වන්නේ කතානායකවරයා වැඩ බලන ජනාධිපතිවරයා ලෙස පත්කරගැනීමයි. එවැනි යෝජනාවක් මේ වනවිටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු කණ්ඩායම් කිහිපයක් විසින් යෝජනා කර තිබෙනවා. නමුත් කතානායකවරයා වැඩ බලන ජනාධිපතිවරයා ලෙස පත්කරගැනීම සඳහා අග්‍රාමාත්‍යධූරය හිස්ව තිබීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව අත්‍යවශ්‍ය වේ.

Giraya News Alerts

කෙසේ වෙතත් වැඩ බලන ජනාධිපතිවරයෙකු පත් කළ දින සිට මාසයක් ඇතුළත් පාර්ලිමේන්තුවේ පවත්වන රහස් ඡන්දයකින් ජනාධිපතිවරයාගේ ඉතිරි ධූරකාලය සඳහා මන්ත්‍රීවරයෙකු තෝරගත යුතුයි. මේ වනවිට ලැබෙන දේශපාලන ආරංචි මාර්ග අනුව, මන්ත්‍රීවරයන් කිහිප දෙනෙකුගේ නම් දේශපාලන කණ්ඩායම් අතර සාකච්ඡා වන බව වාර්තා වේ. ඒ අතර, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, පාඨලී චම්පික රණවක, සරත් ෆොන්සේකා, අනුර කුමාර දිසානායක ඇතුළු පිරිසකගේ නම් යෝජනා වෙමින් පවතින බව එම වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙයි.

Continue Reading

Trending

Copyright © 2016 Giraya News. Powered by Digital Hub